සුවහසක් ජනතාව මහ මඟට බැස පැවති රාජපක්ෂ ආණ්ඩුව පලවාහැර සිස්ටම් චේන්ජ් එකක් සහ ජාතික ආණ්ඩුවක් බලාපොරුත්තු වූ අතර වර්තමානයේ රාජපක්ෂලාගේ සෙවනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ගෙනයන පාලනය තුල ජනතාවගේ අභිලාශයන් ඉටු නොවන බවත්, මෙවැනි වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවක් සමඟ එකතු වීමට කිසි ලෙසකින් වර්තමානය තුල කටයුතු නොකරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (20) පැවති රූපවාහිනී වැඩසටහනකට සහබාගී වෙමින් පැවසීය.

අරගල කළ ජනතාවගේ අභිලාශයන් තේරුම් නොගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලය පමණක් පවත්වාගෙන යෑමට කටයුතු කරන අතර අරගලකරුවන් ඉල්ලා සිටි ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට හෝ 19වන සන්ශේධනය බලාත්මක කිරීමට කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ඔහු පැවසීය.

පැවති පොහොට්ටු ආණ්ඩුව IMF පිළිබඳව කිසිඳු වැඩපිළිවලක නොසිටි අවස්ථාවේ සමගි ජන බලවේගය විසින් අනිවාර්යෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කටයුතු කල යුතු බව පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතත් පැවසූ බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වර්තමානයේ පොහොට්ටු ආණ්ඩුව සමග ගෙන යන අත්තනෝමතික පාලනය කිසි ලෙසකින් අනුමත නොකරන බවත් එවැනි ආණ්ඩුවක් සමග ඒකට එකතු වී කටයුතු කිරීමට සුදානම් නොමැති බවත් කිරිඇල්ල මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.