රටේ ජනතාවගේ දේශපාලන අයිතිය, ආර්ථික සමාජීය අයිතිය ආණ්ඩුව උල්ලංඝනය කරමින් දේශපාලන කුමන්ත්‍රණ හරහා රටේ අපක්ෂපාතී අධිකරණය ලබා දුන් තීන්දුවලට සහ ස්වාධීන මැතිවරණ කොමිසමේ කාර්යයට බාධා පමුණුවමින් ආණ්ඩුව විසින් අමු අමුවේ එළිපිටම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුව මැතිවරණ කොමිසමට, රටේ උත්තරීතර අධිකරණයට, මුදල් අමාත්‍යාංශයට සහ රජයේ මුද්‍රණාලයට පවා බාධා පමුණුවමින් මැතිවරණ කඩාකප්පල් කිරීමේ ක්‍රියාවක නිරත වන බවත් ඒ සඳහා සහාය පළ කරමින් මැතිවරණ කඩාකප්පල් කරන ජනාධිපතිවරයකුත් පත්වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ ඊයේ(19) පස්වරුවේ බොරැල්ල කුප්පියාවත්ත ප්‍රදේශයේ පැවති සමගි ජනබලවේගයේ පොකුරු රැස්වීමක් අමතමිනි.

රටේ ජනතාව ඉල්ලා සිටියේ ක්‍රමයේ වෙනසක් වුවත් මේ වන විට එම ක්‍රමයේ වෙනස නොමැතිව රාජපක්ෂලා ආරක්ෂා කිරීම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මන්ත්‍රීවරුන්ගේ ගිනි ගත් ගෙවල්වලට වන්දි ලබා දීම,පොහොට්ටුවේ මන්ත්‍රීවරුනට ආරක්ෂාව ලබා දීම හා සම්පූර්ණ කාලය ගෙවන තෙක් මහමැතිවරණයකට නොයැම යන හේතු සදහා පමණක් මේ ජනාධිපතිවරයා ක්‍රියාත්මක වන බවයි.