එක් පැත්තකින් විදුලිබිල වැඩි කරන විට තවත් පැත්තකින් බංකොලොත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් යානා 11ක් ගන්නා බවට වාර්තා වන බවත් රටේ මෙවැනි අර්බුධයක් පවතින අවස්ථාවක ජනතාවට සහන සලසනවා වෙනුවට මෙවැනි නාස්තිකාර ක්‍රියා සිදු කිරීම අනුමත කළ නොහැකි බවත් එබැවින් ජනතාවට සහන සලසා විදුලිබිල වැඩි කිරීම නතර කරන ලෙසත් අද (5) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

එක් වරක් විදුලි බිල වැඩි කර තිබිය දී තවත් අවස්ථා 2ක දී විදුලි බිල වැඩි කිරිමට තීරණය කර ඇති බවත් එය මිනිසුන්ට දරා ගත නොහැකි බවත් විභාග සමයේ මෙවැනි දෙයක් සිදු වන විට පාසල් ළමුන් පවා අසරණ වන බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පවා මීට එරෙහි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සානුකම්පිතව, මානුෂීයව ජනතාවගේ ඉල්ලුමට සවන් දෙන ලෙස යි.

එසේ ම විදුලි බල මණ්ඩලය සතු බලාගාර විකිණීමේ සූදානමක් පවතින බවට වාර්තා වන බවත් එසේ සිදු කරන්නේ නම් වත්මන් රජය උත්සාහ කරන්නේ මේ රට වෙන්දේසිලන්තයක් බවට පත් කිරීමට බවත් එය තරයේ හෙළා දකින බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

එමෙන් ම විදුලි බිල වැඩි කිරීම තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු හතලිස් පන් ලක්ෂයකට ආසන්න පිරිසක් අසරණ වී ඇති බවත් මේ වන විට බැංකු පොලී අනුපාත ඉහළ දැමීම ද ඊට එක් හේතුවක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.