සෑම අවස්ථාවකම මාධ්‍ය නිදහසට ඉඩක් ලබා දිය යුතු බව සිය ස්ථාවරය බවතෙහෙත් සාවද්‍ය කරුණු වාර්තා කිරීම හෙළා දකින බවත් අද (5) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඉලක්ක කර ගෙන ඔහුගේ කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් සිදු වූ බවට එක්තරා පුවත්පතක පළ වූ පුවතක් සම්බන්ධ තොරතුරු නිවැරදි කිරීම සම්බන්ධයෙන් වන කතාවක් සිදු කරමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

එහි දී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ එම සාකච්ඡාවේ දී සමස්ත පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව යි.කෙසේවෙතත් මේ පුවත සම්බන්ධයෙන් වැඩිදුර කතානායකවරයා විසින් ලිඛිතව අදාළ කර්තෘවරයා දැනුවත් කර නිවැරදි කිරිමක් සිදු කරන මෙන් ඉල්ලා සිටින ලෙස ද විපක්ෂ නායකතුමා කියා සිටියේ ය.