කළුතර නගර මධ්‍යයේ අද(26) දහවල් ජනඅරගල ව්‍යාපාරයේ විරෝධතා කරුවන් පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

ජන අරගල ව්‍යාපාරය විසින් ජීවන බර, බදු මිල, විදුලි බිල , ත්‍රස්තපනත සහ විරෝධතා කරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කළුතර ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට මෙම විරෝධතාව ආරම්භ කර තිබුණා.

‘ලංකාදීප’ වාර්තා කළේ උදෑසන සිට කළුතර නගරයේ සහ ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබු අතර විරෝධතාව පැවැත් වූ ස්ථානය අවට පොලිස් කණ්ඩායම් රැසක් යොදවා තිබූ බවයි.

විරෝධතාවය දැඩි අව් රශ්මිය මධ්‍යයේ පවත්වන අතරතුර විරෝධතා කරුවන් කිහිප දෙනෙකු විරෝධතා පුවරු අතැතිව බිම වාඩි වූ අතර, ඔවුන්ගේ ආධාරකරුවන් දෙදෙනෙකු විරෝධතාකරුවන් වෙනුවෙන් ටෙන්ට් රෙද්දක් රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා

එම අවස්ථාවේදී එසේ රැගෙන ආ ටෙන්ට් රෙද්ද පොලිස් භාරයට ගැනීමට යාමේදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණා.

මෙහිදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර හටගත් ගැටුම්කාරී තත්වයෙන් අනතුරුව සිව්දෙනෙකු කළුතර දකුණ පොලිසියට රැගෙන ගොස් ඇති බවද වාර්තා වෙනවා.