සමාජයීය සහජීවනයේ මහිමය ලොවට කියන, දේවත්වය හා මනුෂ්‍යත්වය අතර පවත්නා දිව්‍යමය බැඳීම විචිත්‍රවත් කරනු ලබන මුහම්මද් නබි තුමාගේ උපන්  සිහිපත් කරන අද දිනය සකල ලෝකවාසී ඉස්ලාම් භක්තිකයින්ට අපේ සුභාශිංසන පිරිනමමු.

අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන් ද ප්‍රචලිත එතුමන් අනෝන්‍ය අවබෝධය, සහෝදරත්වය, එකිනෙකාට උපකාර කිරීම හා සාධාරණත්වය, ස්වකීය මූලික ඉගැන්වීම්වලින් පරිපූර්ණ කළහ . නබි නායකතුමන්ගේ ප්‍රමුඛතම දර්ශනය වූයේ මානව සමාජය ගුණයෙන් මෙන්ම ඥානවන්ත වූ අවිහිංසාවාදයෙන් පුරවාලීමයි.

මුහම්මද් නබිතුමන් සුවිශේෂි කරුණු මත අන් අය අතර ප්‍රචලිත වූ අතර ඉස්ලාම් දහම ලොවපුරා ව්‍යාප්ත කරමින් ඔහුට හතලිස් වැනි වියේදී අල්ලා දෙවියන්ගේ පණිවුඩකරුවීමේ වරම ලැබිණ.
අනතුරුව අරාබිකරයේ ප්‍රජාව නිවරදි මගට යොමු කිරීමට කටයුතු කළ එතුමන් වසර 23ක් තිස්සේ දෙවිදුන්ගෙන් ලැබුණු මෙහෙවර ඉටු කළේ ය.

සමස්ත ලෝකයේ  ජීවත්වන මිනිස් සංඛ්‍යාවෙන්  පස්දෙනකුටම එක් අයෙකු විශ්වාසය තැබු ආගම වන ඉස්ලාම් ආගම ආරම්භ වූයේ නබිතුමන්ගෙනි.

ලොව සියලු සත්ත්වයන්ට ආදරය දැක්වීමේ නබිතුමානන්ගේ දර්ශනය, සැම දෙනාගේම දෛනික ජීවිතයේ ක්‍රියාවන්ට මාර්ගෝපදේශකත්වය සැපයීමට හේතු වෙයි.

පෞද්ගලික ජීවිතය අන් අයගේ ආදර්ශයක් බවට පත් කළ මුහම්මද් නබිනායකතුමා අල්ලාහ්ගේ දේව පණිවිඩය ලෝවාසීන්ට රැගෙන ආහ.සාමය, ‍සහෝදරත්වය, සමඟිය සහ අන්‍යෝන්‍ය අවබෝධය මනා ලෙස අවධාරණය කළ නබිනායකතුමන්ගේ ඉගැන්වීම තුළින් ස්වකීය ජීවිත පැවැත්ම යහපත් කොටගෙන කටයුතු කරන සකල ඉස්ලාම් බැතිමතුන්ට සුභාශිංශන එක් කරමි.

සජිත් ප්‍රේමදාස 

විපක්ෂ නායක