ලෝකයේ රටවල් ඕනෑතරම් සාගතයනට මුහුණදී තිබේ. ඒ කුමන හෝ බලපැමක් නිසාය. වෙනත් රටක බලපෑමකින්, යුද්ධයකින්, නියඟයක් වැනි කාලගුණ විමතකින් ආර්ථික කඩා වැටීමකින් රටක සාගතයක් නිර්මාණය වේ . එවන් හේතු සාධක කිසිවක් නොමැතිව සාගතයකට මුහුණදෙමින් සිටිනා ලෝකයේ එකරට ශ්‍රී ලංකාවය. ශ්‍රී ලංකාව මුහුණදෙමින් සිටිනුයේ ඇතිවූ සාගතයකට නොව ඇතිකරන ලද සාගතයකටය. ශ්‍රී ලංකාවට සාගතයක් ඇතිකළේ රට කරවන පොහොට්ටුවේ ආණ්ඩුව බව දැන් ප්‍රකට රහසකි.

ඉදිරි අවුරුදු 03න් රට හදනා එක මහ ලොකු කජ්ජක් නොවේයයි ජනාධිපති තුමා පවසයි. ඒ කථාව ඇසූවිට අපට ජනාධිපතිගෙන් අසන්නට වෙන්නේ ගෙවුන අවුරුදු දෙකේ දෙකක් පොල් ගෑවද කියලාය. මන්දයත් ලෝකයේ අපිට වඩා පහළ ආර්ථිකය තිබුන අනෙකුත් රටවල් මේ කොරෝනා වසංගත සමයේ ආර්ථික වශයෙන් ශක්තිමත් වන විට අපේ රටට මෙහෙම උනේ කාගේ වරදින්ද යන ප්‍රශ්ණය අපට අසන්නට සිදුවේ.

රටේ ආර්ථික කළමණාකරනය කරන්නේ කොහොමද කියලා හිතන්නවත් බැරි ආණ්ඩුවක් අද තියෙන්නේ. මේ අයට ගමට දෙන ලක්ෂ 40 හරියට පාවිච්චි කරන්න බැරි වුණා. මේ රටේ මෙවැනි ප්‍රශ්ණයක් සිදුවුන වෙලාවේ අඩුම ගානෙ අපනයන නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා ග්‍රාමීය වශයෙන් යාන්ත්‍රණයක්, වැඩපිළිවෙළක්, හදන්න ඕනෑකමක් ආණ්ඩුවට තිබුනේ නෑ. අපෙන් උපදෙස් ගත්ත නම් අපි කියලා දෙනවා කොහොමද රට ගොඩනගන්නෙ කියලා .

තවම කොතනකවත් නිත්‍යානුකූල වාර්තාවක් දීලා නැහැ රසායනික පොහොර නිසා වකුගඩුවලට හානි වෙනවා කියලා . ඒත් ආණ්ඩුව කළේ රැයක් එළිවෙනකොට රසායනික පොහොර තහනම් කරපු එක. ඒකෙන් රට වැටිලා. මිනිස්සුන්ට කන්න නැතුව ගියා. ගොවියා හාමතේ තියලා, ගොවි ගෙදර අස්වැන්නත් නැති තත්ත්වයට පත් කරලා රට ගෙනියන්න බැහැ. ඒක ගොන් වැඩක් . අපි රට ගෙනියනවා නම් ගොවියා ශක්තිමත් කරන ගමන් තමයි
කාබනික ගොවිතැන සඳහා ගොවියාට අවස්ථාව ලබා දෙන්න ඕන. ගොවියා විසින්ම නිෂ්පාදනය කරන්න කාබනික පොහොර ටික තමුන්ගේ පසට ප්‍රදේශයට හරියන විදියට නිර්මාණය කරන්න . බොහෝ ගම්වල අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික තියෙනවා . ගොම පොහොර එළු පොහොර කුකුල් පොහොර සහ කොම්පෝස්ට් සාමාන්‍යයෙන් යොදා ගන්නවා . ඒකට වැඩපිළිවෙළක් දැනුමත් තාක්ෂණයත් පාවිච්චි කරන්න පුළුවන් අපි ඒක හරියට ක්‍රියාත්මක කරනවා. අපි රසායනික පොහොර දීලා තමයි ඒක පටන් ගන්නෙ මොකද ගොවියා බිමට දාලා ගොවිතැන නංවන්න බැහැ.

රටේ සමස්ත ජනතාවට අද දුක් විඳින්න වෙලා තියෙනවා . උදේට පෝලිමේ, දවල්ට හාමතේ, රෑට කරුවලේ , ඉන්නයි ජනතාවට සිද්ධවෙලා තියෙන්නේ. අද රට යකාට ගිහිල්ලා. පොහොට්ටුවේ ඇමතිවරුම එහෙම කියනවා. අපි බලාගෙන ඉන්නවා ඊළඟ අවුරුදු තුනත් යක්ශයාගේ දේශය මිනී කන දේශය බවට පත් කරයි ද කියලා.

වර්තමාන රටේ ප්‍රශ්ණ ගැන කල්පනා කරද්දී ලැජ්ජ නැතුව ආණ්ඩුව කියනවා අවුරුදු ගාණක් මේ රටේ තිබිච්ච ප්‍රශ්ණයක් තමයි කොරෝනා එක්ක එළියට ආවේ කියලා. එතකොට මේ අයට අමතක වෙලා තියෙනවා වැඩිම කාලයක් මේ රට පාලනය කළේ රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි , පොහොට්ටුව යි කියන එක . යහපාලන ආණ්ඩුව තිබුණේ වසර හතරහමාරක් පමණයි ඒකෙත් රාජපක්ෂලා ගේ කණ්ඩායමක් සිරිසේන ජනාධිපතිතුමා එක්ක අපේ ආණ්ඩුවේ හිටියා. ඊට පෙර වසර 20ක් මේ රටේ ආණ්ඩු කරපු රාජපක්ෂ පවුලේ කට්ටියත් , ඉන්න නිලධාරීන් කණ්ඩායමත් මහ බැංකුවේ අධිපතිවරයා ප්‍රමුඛ අය තමයි ආර්ථිකය පාලනය කළේ. එහෙම නම් එදා බලය ගන්නකොට තේරුණේ නැද්ද මේ රටේ විනාශකාරී තත්වයට ඇදිලා ගෙන යනවා කියලා.

පොහොට්ටු ආණ්ඩුව පිහිටුවන්න පෙර වියත්මග එකතු කරගෙන මොනවද කිව්වේ සම්පූර්ණම මාකටින් එකක් කළා 225 ම එපා කියලා. ඒක කළේ ගෝඨාභය රාජපක්ෂ කියන දේශපාලනයක් නොදන්න චරිතයක් රට පාලනය කරන තැනට ගේන්නයි. ඔවුන් කිව්වේ රට සම්පූර්ණ වෙනස් කරනවා කියලා . එහෙනම් හත්දෙයියනේ ඔලුව අස්සෙ මොලේ කළඳක් තිබුණෙ නැද්ද අවුරුදු 20ක් පුරා තිබුණු ප්‍රශ්ණ ටික 2019 ආණ්ඩුව පටන් ගන්න පෙර මේවා ඉදිරියේදී එනවා කියලා තේරුම් ගන්න. එයට සැලසුමක් හදන්න අඹමල් රේණුවක මොළයක් තිබිලා නැහැ. 2019 එම වැඩපිළිවෙළ හදන්න ගත්ත නම් අද විදුලි , ගෑස් අර්බුද එන්නෙත් නැහැ ඩොලර් අර්බුදය එන්නෙත් නැහැ .රටේ ආර්ථිකය මේ තත්ත්වයට වැටෙන්නේ නැහැ.

ජනතාව අද උදේට පෝලිමේ ඉන්න වෙලා. රැකියාව කරන්න විදිහක් නැහැ. දවල්ට කන්න නැතුව හාමතේ. මොකක්ද කනබොන දේට කිට්ටු කරන්න බෑ. රෑට ලයිට් නැතිව කරුවලේ.ඔන්න ඕකයි අද රටේ තත්ත්වය.

අපි කියනවා සමගි ජන බලවේගය හැටියට මොනවද කරන්නේ කියලා. අපි කියුවා 2020 ජනවාරි ඉඳලා අපේ අලුත් වැඩපිළිවෙළ රටට කියනවා කියලා. ඒ නිසා අපි සෑම අංශයක් සම්බන්ධව සාකච්ඡා කරමින් එය අවසන් කරමින් යනවා . පළමු වැඩසටහන විදියට සමගි ගොවිජන ප්‍රකාශනය එළිදැක් වූවා. එහිදී කෘෂිකර්මාන්තය සම්බන්ධව මොනවද අපි ගන්න තීන්දු තීරණ සදහන් වෙනවා. ප්‍රධානම අරමුණ තමයි ගොවියා ශක්තිමත් කර ජනතාවට කන්න දෙනවා කියන එක. නැවතත් අපි රසායනික පොහොරත් එක්ක රටේ ජනතාවට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙනවා . මිනිස්සුන්ට හානියක් නැති විදිහට අහිතකර නොවන විදියට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කටයුතු කරන බව.

විශේෂයෙන්ම කාබනික පොහොර භාවිත කරන ජනතාවට නිවැරැදි ක්‍රමවේද සහ ඒ කාබනික පොහොර හදන්න අවශ්‍ය කරන සියලු උපකරණ වගේම ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලම ලබා දෙන වැඩපිළිවෙළක් අපි හඳුන්වාදෙනවා. අලුත් තාක්ෂණය උපයෝගී කරගනිමින් රටේ සියලු වගාවන් සිදු කරලා එහි අස්වැන්නෙන් අපනයනය කර විදේශ විනිමය වැඩි කරන ගමන් දේශීය ගොවිතැන ශක්තිමත් කිරීම අපේ ගොවි ප්‍රතිපත්තියේ එක අංගයක් පමණයි. අපි ඉදිරියේදී අපේ විදේශ ප්‍රතිපත්තිය සහ විදේශ රැකියා පිළිබඳ ප්‍රතිපත්තියත් එළිදක්වනවා.
ඉතාම ඉක්මනින් අපේ ප්‍රතිපත්ති ටික එළියට දාලා ජනතාවට අපේ මතය අපි කියනවා. එයට ජනතාවගේ අදහස් අපට අවශ්‍යයි එහෙම නැතුව ඉස්සරහට යන්න බැහැ.

GMO එකත් එක්ක ඒකේ දොස්තර මහත්තුරු සියලුදෙනාම ආණ්ඩුව නොමඟ යවපු වැඩපිළිවෙළක් තියෙනවා. ඒ තමයි රසායනික පොහොර නිසා වකුගඩු රෝගය හැදිලා මේ රටේ මිනිස්සු මිය යනවා. ඒ නිසා කාබනික පොහොර දාලා මේක කරන්න ඕන කියලා. දශක හතරක පහක කෘෂිකර්මය එක රැයෙන් වෙනස් කරන්න ගොන් තකතීරු මෝඩ තීන්දුවක් දුන්නේ මේ කණ්ඩායම එකතු වෙලා.

දැන් අපි කියනවා ඒ දොස්තර මහත්තුරුන්ටයි ආණ්ඩුවේ ලොක්කන්ටයි පිටරටින් එන හාල් ටොන් මිලියනය රසායනික පොහොර දාලා නිෂ්පාදනය කරන සහල් බවත්, ඒවා කෑවොත් වකුගඩු රෝග හැදෙන බවත් සඳහන් ස්ටිකර් වහාම චීනයෙන් ගේන හාල් බෑග්වල අලවන්න කියලා. මොකද අපි වගේ හත් අට ගුණයක් කෘෂි රසායන මේරටවල පාවිච්චි කරනවා. අපිට වැඩිය රසායනික පොහොර පාවිච්චි කරන චීනයේ හාල් ටික ගෙනල්ලා අපිට කන්න දෙනවනම්, ඒකෙනුත් කොමිස් ගහනවානම් ඇයි ඒවගේ ස්ටිකර් එකක් ගහන්නේ නැත්තේ. අපි දන්නවා දැනටත් සිගරට් පැකට් එකේ ගහලා තියෙනවා දුම්බීමෙන් පිළිකා ඇති කරයි කියලා. එහෙම නම් හාල් බෑග් එකෙත් එහෙම ගහන්න වෙයි.

පුත්තල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
හෙක්ටර් අප්පුහාමිගේ අදහස් දැක්වීමක් ඇසුරෙනි