සිවිල් ක්‍රියාකාරිකයකු මෙන්ම වෘත්තිය සමිති නායකයකු වන විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සමගි ජන බලවේගය සමග ක්‍රියාකාරී දේශපාලනයට එක්වීමට තීරණය කර තිබේ.

පසුගිය කාල වකවානුවේදී සිදුවූ දූෂිත ඖෂධ වංචාවන්ට එරෙහිව සුවිශේෂී මෙහෙවරක් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් ඉටු කළ අතර මේ වන විට එම ක්‍රියාවන්හි ප්‍රතිඵල ලැබෙමින් පවතින බව මෙම අවස්ථාවට සහභාගී වෙමින් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුව විසින් ගෙනයන අධූරදර්ශී වැඩපිළිවෙලට, දූෂණයට, වංචාවට එරෙහිව සමාජයේ මතයක් ගොඩනැගීමට අප සියලු දෙනාට ම කටයුතු කිරීමට සිදුවන බවත් එවැනි අවස්ථාවකදී වෛද්‍ය චමල් සංජීව වැනි පුද්ගලයින්ට ඉදිරියටත් විශාල කාර්යභාරයක් ඉටු කිරීමට තිබෙන බව රංජිත් මද්දුම්බණ්ඩාර මහතා වැඩිදුරටත් අවධාරණය කරමින් පැවසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා, සමගි ජන සන්ධානය නියෝජනය කරමින් ජී එල් පීරිස් මහතා, සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි නලින් බණ්ඩාර මහතා සහ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.