විදුලිබල සැපයුම් ක්ෂේත්‍රයේ තරගකාරිත්වයක් ඇතිකිරීම තුලින් ජනතාවට සහනදායි මිලට විදුලිය සැපයීමට රජය ක්‍රියාකරන්නේ නම් එයට විරුද්ධ නොමැති බවත් නව විදුලි බල පනත තුලින් නීතිය ක්‍රියාත්මක නොකර රජයට කැමති පුද්ගලයන්ට විදුලිය සැපයීමට ඉඩකඩ සපයන්නේ නම් එයට පක්ෂයක් ලෙස විරුද්ධ වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (08) රූපවාහිනී දේශපාලන වැඩසටහනකට එක්වෙමින් පැවසීය.

පසුගිය වසර තුල ලෝක බැංකුව විසින් ලංකා මුහුදු සිමාවේ සුළං විදුලිය පිළිබඳව කල පර්යේෂණයකින් මෙගා වොට් 40000ක් 50000ක් පමණ නිෂ්පාදනය කල හැකි බව තක්සේරු කර ඇති බවත් මන්නාරම් ද්‍රෝණිය තුල ලෝකයේ වැඩියෙන්ම සුළං විදුලිය නිෂ්පාදනය කල හැකි ශක්‍යතාවයක් තිබෙන බවත් ලංකා විදුලිබල මණ්ඩලයට මෙවැනි විශාල ව්‍යාපෘතියකට ආයෝජනය කල හැකි පසුබිමක් නොමැති බවත් හර්ෂ ද සිල්වා මෙහිදී පැවසූ අතර එතුමා අවධාරණය කරන්නේ එවැනි ශක්‍යතාවයක් තිබෙන පසුබිමක ආයෝජකයින් කැඳවා විදුලිය නිෂ්පාදනය කිරීමට ක්‍රියා කරන්නේ නම් එය ආයෝජන ගෙන්වා ලංකාවට අමතර මුදලක් ඉපයීමට ඇති සුවිශේෂී අවස්ථාවක් බවයි.

දේශපාලනයට පැමිණීමට පෙර භූතානයේ ජාල විදුලිය උත්පාදනය කිරීම පිළිබඳව උපදේශකයෙක් ලෙස තමා සේවය කල බවත් මේ වන විටත් භූතානය වැඩිම විදේශ අදායමක් උපයන්නේ ජල විදුලිය ඉන්දියාවට විකිණීමෙන් බවත් මෙහිදී ආචාර්යවරයා කියා සිටියේය.

විදුලිය ජනනය කිරීම, බෙදාහැරීම තුල තරගකාරිත්වයක් තිබේනම් එය ජනතාවට වාසි සහගත ලෙස යොදාගත හැකි අතර නිකන් හමන සුළගින් ජනතාවට වාසියක් ලබාගත හැකිනම් එහි කිසිඳු වැරද්දක් නොමැති බවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින් අදාල සමාගම් සමඟ නීති අණ පනත් හරහා කටයුතු කල හැකිනම් එහි කිසිඳු වරදක් නොමැති බවත් මෙහිදී හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේය.