ගුරු විදුහල්පති වැටුප් විෂමතා රැසක් තිබියදී ඒවා නොසලකා හැරි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරියකට ලිපියක් නිකුත් කළ හැකි ද ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි

2024.03.28 වැනි දින රජයේ පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සිය වැටුප් විෂමතා ගැටලු‍ව සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමුවීමෙන් අනතුරුව 2024.4.18 වැනි දින අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වාසනා ගුණරත්න මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් වූ ලිපිය තුළින් දැඩි ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙරට තුළ ගුරුවරුන් 241000කට වැඩි ප්‍රමාණයක් සහ විදුහල්පතිවරු 16000ක් පමණ සිටින බවත් මෙම ක්ෂේත්‍ර ද්විත්වයේ බරපතල වැටුප් විෂමතා තිබුණත් එවැනි වැනි ගැටලු‍වක් නොමැති බව සඳහන් කරමින් මෙම ලේකම්වරිය ලිපියක් ඉදිරිපත් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් සුබෝධනී වැටුප් නිර්දේශ, උසාවි නිර්දේශ නිර්දේශ තිබිය දී ඒ සියල්ල හෑල්ලු‍වට ලක් කරමින් අමාත්‍යාංශයේ නිලධාරීවරියකට මහපොළොවේ සත්‍ය යථාර්ථය අමතක වී ඇත්තේ කෙසේද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි.

මේ වැටුප් විෂමතා ගැටලු‍වලට තවමත් හරිහමන් විසඳුමක් නොමැති විට මෙවැනි දෙයක් නොමැති බවට ප්‍රකාශ කළ නොහැකි බවත් ඒ තුළින් මේ ක්ෂේත්‍රයේ අය විවිධ කළකිරීමට ලක් ව විවිධ ක්‍රියාමාර්ග ගන්නා විට පාසල්වල දූදරුවන්ට ඉන් බලපෑම් සිදුවන නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

සමගි ජන බලවේග රජයක් තුළ මේ වැටුප් විෂමතා සියල්ල ලබා දෙනවා

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිවරයාගේ ප්‍රතිචාරයක් අවශ්‍ය බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මේ වන විට වැටුප් විෂමතාවෙන් 1/3ක් සම්පූර්ණ වුවත් සෙසු 2/3 සම්බන්ධයෙන් කිසිත් අවධානයක් නොමැති හෙයින් සමගි ජන බලවේග රජයක් තුළ එම 2/3 ලබා දෙන බවට ප්‍රතිඥා ලබා දෙන බවයි.