රටේ මහා ජනතාවගේ සාමකාමී ජනතා නැගිටීම් තුලට මර්ධනය රැගෙන ඒම බල ලෝභී විහිළු සහගත ක්‍රියාවක් වන අතර ව්‍යවස්ථා එහෙ මෙහෙ කර ගෙන එනු ලබන මර්ධන අණ පනත් හකුලා ගන්නා ලෙසත් සජබ මහලේකම් රංජිත් මද්දුමබංඩාර මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත.

ඒ පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් රංජිත් මද්දුමබංඩාර මහතා මෙසේ පැවසීය.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට තුළ යළිත් වතාවක් හදිසි නීතිය ප්‍රකාශයට පත් කොට ඇත. පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසුමක් පැවැත්වීමට සූදානම් වන මොහොතේ රට තුළ හදිසි නීති ප්‍රකාශයට පත්කිරීම එම ජනාධිපතිවරණය ද යම් බලපෑමක් එල්ල කිරීමට දරණ උත්සාහයක් ලෙස අප හෙළා දකිමු.

වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධූරයට පත්වීම මෙන්ම පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිධුරයට ඉදිරිපත්වීම පිළිබඳවද රටේ බරපතළ විරෝධතාවක් නිර්මාණය වී ඇති පසුබිමක ඒ සඳහා ජනතාව නගන හඬ යටපත් කිරීමට දරණ ප්‍රයත්නයක් ලෙස ඔහුගේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම අප දැඩි ලෙස හෙළා දකිමු.

මෙය වඩාත් තහවුරු වන්නේ හදිසි නීතිය පැනවීමෙන් ඔබ්බට ගොස් සමාජ මාධ්‍ය තුළ පලකරන මත වාද සහ අදහස් මර්දනය කරලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද රෙගුලාසි සහ අපරාධ පිළිබඳ වූ නීතිය යටතේ සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව කටයුතු කිරීමට ලබාදී ඇති නියෝගයයි. මේ තුළින් පැහැදිලි වන්නේ සාමකාමීව රැස්වීම් උද්ඝෝෂණ කිරීම, මත පල කිරීම, අදහස් දැක්වීම සඳහා වූ භාෂණය සහ නිදහසේ රැස්වීම සඳහා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කළ මූලික අයිතියද චේතනාන්විතවම වැඩබලන ජනාධිපති වරයා විසින් උල්ලංඝනය කරන බවයි.

සිය බලය තහවුරු කිරිම සඳහා වික්‍රමසිංහ මහතා ගන්නා ක්‍රියාමාර්ග දැඩි මර්දනකාරී පාලනයකට ඔහු තුළ ඇති අභිලාෂය මනාව පැහැදිලි කරන්නකි. රටේ වර්තමානය තුළ උද්ගතව ඇති දේශපාලන සහ ආර්ථික අර්බුද නිමා කිරීමට ඔහුට කිසිදු සැලසුමක් හෝ වැඩපිළිවෙළක් නොමැති බව අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ලෙස ගෙවී ගිය මාස දෙක තුළ ගත් තීරණ තීන්දු මඟින් පැහැදිලි වේ. ගැටළුවලට විසඳුම් සපයනවා වෙනුවට ගැටලු පිළිබද මාධ්‍ය ප්‍රකාශකයා ලෙස කටයුතු කරමින් විසඳුම් අද නොවෙයි හෙට යන බලාපොරොත්තුව තුළ රටේ ජනතාව නොමඟ යැවීමට කටයුතු කරන වික්‍රමසිංහ මහතා කෙසේ හෝ ජනාධිපති ධූරය ලබාගැනීමට උත්සාහ දරනුයේ රටේ ජනතාව දිනවීමට නොව ජනතාව ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ දේශපාලනය සුරක්ෂිත කිරීම සඳහා බව පැහැදිලිය.

මේ මොහොතේ ජන මතයට හිස නමා ජනතා මර්දනය සඳහා අණ පනත් තුළින් බලය තහවුරු කරගැනීමට උත්සාහ නොකොට ජනමතයට හිස නමන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට අපි අවධාරණය කරමු. ප්‍රකාශයට පත් කොට ඇති හදිසි නීතිය වහාම හකුලා ගන්නා ලෙසත් සමාජ මාධ්‍ය හෝ මාධ්‍ය ක්‍රියාකාරීන් මර්දනය නොකරන ලෙසත් වික්‍රමසිංහ මහතාට අපි දැනුම් දෙමු. ජනතා මතයට පටහැනිව ගන්නාවූ ඕනෑම ක්‍රියාමාර්ගයකට ප්‍රජාතන්ත්‍රවාදීව ඒ සඳහා කැප වන සියලුම බලවේග සමඟ එක්ව කටයුතු කරන බවද පෙන්වාදෙනු කැමැත්තෙමු. මේ තීරණාත්මක මොහොතේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක්ව ඒකාධිපති වියරුවක් පරාජයට පත්කොට ලැබූ ජයග්‍රහණය තවත් එවැනිම මොහොතකට රට පත්කරන මොහොත වළක්වාලීමට අප සමග සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වලට එකතුවන ලෙසද ආරාධනා කරමු.

ජනසම්මතවාදය ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ සඳහා වූ වැඩපිළිවෙළ සර්ව පාක්ෂික ක්‍රියාදාමයක් තුළින් ක්‍රියාත්මක කරලීමේ ජන අභිලාෂය දිනවීමට පාර්ලිමේන්තුව තුළ ජනාදිපතිවරයා තෝරාගන්නා මොහොතේදී සමගි ජන බලවේගය සමඟ එක්වන මෙන් රටට ආදරය කරන සියලුම ගරු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමු.

රංජිත් මද්දුමබංඩාර (පා.ම.)
මහ ලේකම්,
සමගි ජන බලවේගය

.