තමාගේ දේශපාලන ගමනේ ප්‍රධාන සිද්ධන්තය කුමක්ද කියා කවුරු හරි විමසුවොත් කියන්නට ඇත්තේ ‘තරගයට වැඩ කිරීම’ බවත් තමා තරගයට වැඩ කිරීමට අතිශය කැමති බවත් තමා පුද්ගල කේන්ද්‍රීය විවේචන සිදු කිරීම, අගෞරව කිරීම් සිදු නොකර ඒ වෙනුවට තරගයට රටට වැඩ කිරීම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජෙ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, රණසිංහ ප්‍රේමදාස යනාදීන් තරගයට රටට වැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගම්උදාව, මහපොළ, මහවැලිය වැනි වැඩසටහන් රටට දායාද කළ බවත් ඒ මඟ යමින් තමාද රට වෙනුවෙන් අගයක් එකතු කරමින් තරගයට වැඩ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තරගයට මඬ ගහමින් චරිත ඝාතනය කිරීම් සිදු කරන රටක තරගයට වැඩ කරමින් රටට අගයක් එකතු කිරිමට තමා කැමති බවත් ඉදිරියේදී නව ව්‍යවසායකයන් මිලියන් බිහි කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කරන බවත් මෙවැනි වැඩසටහන් සිදු කරන විට කුහක පිරිස් එය සිදු කළ නොහැකි යැයි කිව්වත් තමා මේ සියල්ල සිදු කරන්නේ රාජ්‍ය බලයක් නොමැතිව බවත් මේ පිරිතුරු පවිත්‍ර නිර්මල චේතනාව හුදෙක් රටටත් ජනතාවටත් සේවය කිරීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයට නර්තන ඇඳුම් ලබා ගැනීම සඳහා රුපියල් 827,000 වටිනා මුදලක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ ඇඳුම් කට්ටල ලබා දෙන එක මහ ලොකු දෙයක් නොවේ රජයෙන් මේවා දෙන්න පුළුවන් කියා කිව හැකි වුවත් ප්‍රථම වතාවට විපක්ෂයක් ලෙස බලයට එන්නටත් පෙර වැඩක් කර පෙන්වා ඇති බවත් අද දවසත් එවැනි දවසක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල බස් රථ ගෙන්වන්න රජයෙන් බලපත්‍ර දෙන්නේ නැහැ

මේ වන විට සක්වල බස් රථ වැඩසටහන දියත් කිරීමට අවශ්‍ය බස් රථ ආනයනය කිරීමට අදාළ බලපත්‍රය රජයෙන් තවම ලැබී නොමැති බවත් එම අවසර පත්‍රය ලබා දෙනවා නම් තවත් පාසල් රාශියකට එම බස් රථ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙම බස් රථ වැඩසටහනින් තමාට කිසිදු ආදායමක් නොලැබෙන බවත් ඉන් ප්‍රතිලාභ ලැබෙන්නේ රටේ ලක්ෂ 41ක් වූ පාසල් දූදරුවන්ට බවයි.

තමා පැය 24න් අතිබහුතරයක කාලයක් කැප කරන්නේ මෙරට තුළ පීඩනයට අසහනයට මුහුණ දී සිටින ලක්ෂ 220ක් ජනතාව පත්ව ඇති දුකින් මුදවා ගැනීමට බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.