ශ්‍රී ලංකා රේගුවේ 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාරයසාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (Committee on public account (COPA)) පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් විය.

නැගෙනහිර පළාතේ ජල සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් විසින් ගෙන්වූ ගුදම් නිදහස් කිරීමේදී ව්‍යාජව සැකසූ දේශීය තොරතුරු ඉදිරිපත් කිරීම මගින් අදාළ ආයතනයට සැලසුණු මූල්‍ය වාසිය පිළිබඳ කෝපා කමිටුවේ අවධානය යොමු වි තිබෙනවා.

මේ අනුව අදාළ පෞද්ගලික ආයතනය ඩොලර් 5,139,621 ක් ලෙස ගුදම්ගත කර තිබූ භාණ්ඩ නිදහස් කිරීමේදී දේශීයව සැකසූ ව්‍යාජ ලේඛන මගින් ඩොලර් 6,350,364ක් ලෙස වටිනාකම දක්වා ඩොලර් 1,210,743ක් අදාළ ආයතනයට වැඩිපුර ලබාගැනීමට අවස්ථාව ලබා දී තිබිණ.

මේ අනුව මේ සම්බන්ධයෙන් මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස කෝපා කමිටුව නිර්දේශ කරන ලදි.

එසේම නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල් අගුරු ගෙනඒමේදී නිවැරදි තොරතුරු අනාවරණය නොකිරීම හේතුවෙන් අඩුවෙන් අයකර තිබූ රු. මිලියන 187 කට ආසන්න වැට් බද්ද නැවත අයකරගැනීමට සිදු කළ රේගු විමර්ශනයෙන් වැට් බද්ද අතිරේක බද්දක් ලෙස අයකර නොගෙන රු. මිලියන 205ක දණ්ඩනයක් පනවා එම ලැබුණු මුදලෙන් 70%ක් නිලධාරීන්ගේ ත්‍යාග හා සුභසාධන වෙනුවෙන් වෙන්කිරීම පිළිබඳ කමිටුව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලදි.

මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කොට මෙවැනි කරුණු නැවත නොවන ආකාරයේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කොට ඇති බවයි.

රේගු නිලධාරීන් සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් අඟිලි සලකුණු සටහන් යොදාගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා සිදු වූ අතර නිලධාරීන් පෙන්වා දුන්නේ ඉතාමත් රහසිගත මෙහෙයුම් සිදු කිරීමේදී සහ ප්‍රායෝගික තත්ත්වයේදී ඇතැම් මෙහෙයුම් සිදු කිරීමේදී ඇගිල සලකුණු සටහන් කිරීම අපහසු තත්ත්වයක් පවතින බවයි.

මෙහිදී එවැනි වැදගත් මෙහෙයුම්වලදී ලිඛිත සටහනක් යෙදීමට අනෙකුත් සාමාන්‍ය රාජකාරීවලදී ඇඟිලි සලකුණ යෙදීමටත් කෝපා කමිටුව යෝජනා කළා.

ආනයනය සහ අපනයනය කරන බහාලුම් පරීක්ෂා කිරීමට මිලදීගත් ස්කෑනර් යන්ත්‍රය මගින් අපේක්ෂිත සැලසුම්වලට ලඟාවීමට නොහැකිවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වුණා.

මේ අනුව මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කෝපා කමිටුවට ලබා දෙන ලෙස කමිටුව නිර්දේශ කළා.