මේ රටේ සම්පත් තමන්ගේ පුද්ගලික දේපල සේ සලකමින් කුණු කොල්ලෙට විකුණා දමන කාඩ්බෝඩ් දේශප්‍රේමීන්ට  එරෙහි  මහපාරෙ අරගලය ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුවේ දේශීය සම්පත් විකිණීමට එරෙහිව මහජන පවුරක් ගොඩනැඟිය යුතු බවත්,සෞඛ්‍යමය සහ නිරෝධායන නීති රීති වලට අනුගතව,රට බේරා ගැනීමේ අරගලය ආරම්භ කරන බවත් ඒ මහතා පැවසීය.

ආණ්ඩුව මැතිවරණයට පෙර ඉදිරිපත් කරනු ලැබූ සෞභාග්‍යයේ දැක්ම කීතු කීතු වලට ඉරා දමමින් ඒ වෙනුවට මහා පාවාදීමේ දැක්ම ක්‍රියාත්මක කරමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා,ආණ්ඩුව  හොර රහසේම කෙරවලපිටිය යුගදනවි බලාගාරය  කුණු කොල්ලෙට විකුණා දමමින් මෑත ඉතිහාසයෙන් ඉතිහාසයේ මහා පාවාදීම සිදු කළ බවද කීය.,ආණ්ඩුවේ දේශද්‍රෝහී ප්‍රෝඩාව  ඒ හරහා මනාව දැක ගත හැකි බවත් ඒ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද පානම දී පැවති විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනට එක්වෙමිනි .

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 27 වන පියවර ලෙස රුපියල් විසි එක් ලක්ෂ පහලොස් දහසක් (රු. 2,115,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ අම්පාර පානම රෝහලට පරිත්‍යාග කරනු ලැබූ අතර පානම ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරි  බී.එම්.ආර්.එස් බස්නායක මහතා විසින් අදාල පරිත්‍යාගය භාර ගනු ලැබීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙලෙස දෙලක්ෂ අනූපන් දහසක් (රු. 295,000) වටිනා Patient Monitor යන්ත්‍ර 2ක්, රුපියල් තුන්ලක්ෂ විසිපන් දහසක් (රු. 325,000) වටිනා CTG Machine යන්ත්‍රයක් හා රුපියල් දොලොස් ලක්ෂයක් (රු. 1,200,000) වටිනා Defibrillator යන්ත්‍රයක් මෙලෙස පරිත්‍යාග කරනු ලැබු අතර අම්පාර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක හසන් අලි,එහි සම සංවිධායක ගයාන් දර්ශන,ලාහුගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී පාඨලී රෝහණ ජයන්ත, ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 26ක් තුල  ලක්ෂ 784ක (රුපියල් 78,494,000) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජනබලවේගය කටයුතු කරනු ලැබීය.

දේශීය සම්පත් විකුණා දැමීම  දේශද්‍රෝහී ක්‍රියාවක් බව මැතිවරණයට පෙර සඳහන් කළ උදවිය  අද වනවිට  ජනවරම වීසි කොට සිය පෞද්ගලික කොමිස් ජාවාරම් ක්‍රියාත්මක කිරීම උදෙසා රටේ සම්පත් කුණුකොල්ලෙට විකුණමින් සිටින බවත්,ඔවුන් විශ්වාස කරන්නේ මේ රටේ ජාතික සම්පත් තමන්ගේ පුද්ගලික දේපල ලෙස බවත් විපක්ෂ නායකතුමා පැවසීය.