මෙරට සිටින ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා තානාපති කාර්මන් මොරේනෝ මහත්මියව දැනුවත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කටයුතු කළේය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත් වීමෙන් විපක්ෂ නායක කාර්යාලයේ දී යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා තානාපති කාර්මන් මොරේනෝ මහත්මිය සහ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් එකිනෙකා හමු වූ අවස්ථාවේදී ය.

මේ අවස්ථාවේ දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විසින් පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ රටේ බංකොලොත්භාවයත් සමඟ තම ව්‍යාපාර කඩා වැටුණු ආකාරයත් පරාටේ නීතිය හරහා තම ව්‍යාපාර වෙන්දේසි වන ආකාරයත් තානාපතිවරයාට සවිස්තර පැහැදිලි කිරීමක් ද සිදු කරන ලදී.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ද මෙකී අර්බුධකාරී තත්ත්වයන් මත මෙරට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසක් වැසී ගිය අයුරු රජයේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ තානාපති කාර්මන් මොරේනෝ මහත්මියව දැනුවත් කළේය. මෙම ව්‍යාපාරිකයන් රටේ ආර්ථිකයට සියයට 50කට වැඩි දායකත්වයක් සහ සේවා නියුක්තියට සියයට 52කට වැඩි දායකත්වයක් ලබා දෙන නිසා මොවුන් ආරක්ෂා කිරීමේ වැදගත්කම ද විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් නියෝජනය කරමින් නියෝජිත කණ්ඩායමක් සහ සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා ද එක්විය.