විදුලි බිල නැන්වීමේ සැඟවුණු න්‍යාය පත්‍රය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27(2) යටතේ අසනු ලැබූ ප්‍රශ්නය.

ජනතාවට පැය 24 පුරාවටම විදුලි සැපයුමක් ලබා දීමට නම් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු බව ගරු විෂයභාර අමාත්‍යතුමා විසින් ප්‍රකාශ කොට තිබුණි.

මහජන උපයෝගීතා කොමිසමේ දැඩි විරෝධය, දේශපාලනික බලපෑම මත බලහත්කාරයෙන් යටපත් කරමින් වැඩිකළ විදුලි බිල උග්‍ර ආර්ථික අර්බුදයත් සමඟ ජීවන අරගලයක යෙදී සිටි ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් වැනිය.

ගෘහස්ථ විදුලි බිලට පමණක් නොව මෙම ගාස්තු සංශෝධනයත් සමඟ ඇඟළුම් කර්මාන්ත, හෝටල් සහ ආපනශාලා ඇතුළු සෑම කර්මාන්තයක්ම පාහේ පවත්වා ගෙන යාම අසීරු වී තිබේ.

ඇතැමුන් සිය කර්මාන්ත වසා දැමීමට පවා මේ නිසා කටයුතු කරනු ඇතැයි වාර්තා වේ. ආණ්ඩුව විසින් විදුලිබල මණ්ඩලයේ වියදම් පියවා ගැනීමටත්, දූෂණ හා වංචා තුළින් මණ්ඩලයට සිදු වූ පාඩු මහජනයා වෙතින් පියවා ගැනීමටත් මෙලෙස අසාධාරණ අයුරින් විදුලි ගාස්තු සංශෝධනය කර ඇති බව නිරීක්ෂණයයි.

ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

  1. නව විදුලි ගාස්තු සංශෝධනය සඳහා සැලකිල්ලට ගනු ලැබූ නිර්ණායක කවරේ ද? මෙම ගාස්තු වැඩි කිරීමට එරෙහිව මහජන උපයෝගීතා කොමිසමෙන් ඉදිරිපත් වූ නිරීක්ෂණ සඳහා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලැබූ සාධාරණීකරණයන් කවරේ ද? අධික විදුලි ගාස්තු සංශෝධනය විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ලාභදායී ආයතනයක් බව පෙන්වා ආයෝජකයින්ගෙන් වැඩි මුදලක් ලබා ගැනීමට ආණ්ඩුව කරනු ලැබූ ප්‍රයෝගයක් යැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති විසින් සිදු කළ ප්‍රකාශය සුළු කොට තැකිය හැකි ද? ඒ සම්බන්ධව ආණ්ඩුවේ ස්ථාවරය කුමක් ද?
  2. 2023 වර්ෂය සඳහා ජාතික වශයෙන් කොපමණ විදුලි නිෂ්පාදනයක් විදුලිබල පද්ධතියට එකතු කළ යුතු ද යන්න රජය ඇස්තමේන්තු කර තිබේ ද? එය පසුගිය වසර 5 සමඟ සැසඳීමේ දී ඇත්තේ වැඩිවීමක් ද? අඩුවීමක් ද? එසේනම්, ඒ කොපමණ ප්‍රතිශත වලින් ද? කොපමණ ප්‍රමාණ වලින් ද?
  3. මෙම වසරේ සමස්ත විදුලි ඉල්ලුමෙන් කොපමණ ප්‍රමාණයක් ජල විදුලිය මගින් සිදු කිරීමට අපේක්ෂා කරන්නේ ද? තාප බලාගාර මගින් කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ ද? ගල් අඟුරු, සුළං හා වෙනත් මාර්ග මගින් කොපමණ ප්‍රමාණයක විදුලි නිෂ්පාදනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ ද? මෙම එක් එක් ක්‍රමවේද ඔස්සේ විදුලි නිෂ්පාදනය සඳහා වැයවන පිරිවැය එක් එක් බලාගාරය අනුව කෙසේ වෙනස් වේ ද?
  4. විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන ලද නව විදුලි ගාස්තු සංශෝධනයෙන් එක් එක් කාණ්ඩයන්ගේ විදුලි ගාස්තුව පෙර පැවති මිලට සාපේක්ෂව කොපමණ ප්‍රතිශතයකින් වැඩි වී ඇත් ද? වැඩිම ප්‍රතිශතයකින් විදුලි ගාස්තු ඉහළ දැමීම සිදු කර ඇත්තේ ඒකක 30ත් – 90ත් අතර අඩුම විදුලි පාරිභෝජනයක් කරනු ලබන අඩු හා මැදි ආදායම්ලාභී ගෘහස්ථ පාරිභෝගිකයින්ට බව රජය දන්නේ ද? වැඩි වශයෙන් විදුලි පරිභෝජනය කරනු ලබන පුද්ගලයින්ට විදුලි ගාස්තු ඉහළ යාම සිදුව ඇත්තේ අඩු ප්‍රතිශතයකින් බව රජය පිළිගන්නේ ද? එසේනම්, මෙය සාධාරණ මිල වැඩි කිරීමක් වන්නේ කෙසේ ද? අඩු විදුලි ඒකක ගණනක් භාවිතා කරනු ලබන ගෘහස්ථ පාරිභෝගිකයින්ට සහනදායී ක්‍රමවේදයක් දියත් කල නොහැකි වන්නේ මන්ද?
  5. පසුගිය වසර 5 තුළ දී විදුලිබල මණ්ඩලය විසින් ලබා ඇති ලාභ/අලාභ වාර්ෂිකව කොපමණ ද? 2023 වසරේ විදුලිබල මණ්ඩලය මගින් පුරෝකථනය කළ ලාභය/අලාභය කොපමණ ද? නව විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරනු ලබන සමස්ත වාර්ෂික ආදායම කොපමණ ද? එමගින් පාඩු ලබන්නේ යැයි පවසන විදුලිබල මණ්ඩලය මින් ඉදිරියට ලාභ සහිතව පවත්වා ගෙන යා හැකි වන්නේ ද? නොඑසේනම්, ඉදිරියේදීත් විදුලිබල මණ්ඩලයේ පාඩු පියවා ගැනීම උදෙසා නැවතත් විදුලි බිල ඉහළ නැංවීමට රජය කටයුතු කරන්නේ ද? නැතහොත්, ඒ සඳහා හඳුනාගත් වෙනත් විකල්ප තිබේ ද? ඒ මොනවා ද?