මාසයකට කිලෝවොට් පැය 60 ත් 90 ත් අතර ප්‍රමාණයක් නිවස භාවිතා කරන්න නොහැකිනම් එම නිවස විදුලි දරිද්‍රතාවයට යටත් වන බවත් විදුලි දරිද්‍රතාවයක් තිබෙන රටක් දියුණු කිරීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

එමෙනම් විදුලිය නිපදවීමට යන වියදම අය කර ගත යුතු බවත් ඒ අයකරගැනීම සාධාරණව අය කර ගත යුතු බවත් විදුලිය සඳහා අය කිරීම් කිරීමේදී විදුලිය භාවිතා කරන ක්‍රම වෙනස් වෙනවාද යන්න පිළිබඳත් සොයා බැලිය යුතු බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ ඊයේ (01) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවැසීය.

‘‘අලුත්ම දත්තවලට සමාගම් බදු සහ පුද්ගලික අදායම් බදු වලින් රජය බිලියන 718 ක් බලාපොරොත්තු වුණා ලැබිලා තියෙනවා බිලියන 495 ක්. එකතු කළ අගය මත බද්දෙන් බිලියන 100 ක් බලාපොරොත්තු වුණා. ලැබිලා තියෙනවා බිලියන 119 ක්. ස්වෙච්ඡාවෙන් ගෙවිය යුතු බදු මුදල් ලැබිලා නෑ. බලෙන් කපා ගන්න බදු මුදල් රජය ලබාගෙන තිබෙනවා. පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා රැකීම වෙළෙඳ භාණ්ඩ බද්දෙන් බිලියන 90 ක් බලාපොරොත්තු වුණා. ලැබිලා තියෙනවා බිලියන 122 ක්. කැසිනෝ බද්දෙන් බිලියන 10 ක් බලාපොරොත්තු වුණා ලැබිලා තියෙනවා බිලියන 5.6 ක්. එකතු කළ අගය මත බද්දෙන් බිලියන 553 ක් බලාපොරොත්තු වුණා ලැබිලා තියෙනවා බිලියන 350 ක්.

එකතු කළ අගය මත බද්ද සියයට 18 ක් දක්වා වැඩිකිරීමෙන් මේ වසරේ වෙනසක් සිදුවෙන්නේ නෑ.2024 දී තමයි වෙනසක් සිදුවෙන්නේ. එකතු කළ අගය මත බද්දෙන් ලැබිලා තිබෙන ප්‍රමාණය අඩුයි.

රජය සම්පුර්ණ අවදානය යොමුකරලා තියෙන්නේ රජයේ ආදායම වැඩි කරගැනීම සඳහා. වැට් එක සියයට 8 ක් දක්වා පහළ දමලා විවිධ කතා කියලා. දැන් වැඩි කරන්න හදනවා. ආණ්ඩුවේ ඉන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති පිරිසක්. ස්වෙච්ඡාවෙන් බදු ගෙවන පිරිසගේ බදු එකතු කරගන්නේ කොහොමද කියලා රජය කටයුතු කරන්න ඕන.

සුරාබදු දෙපාර්තමේන්තුව 2023 බලාපොරොත්තු වුණා බිලියන 217 ක්. අරක්කු බදු මුදලෙන් ලැබිලා තියෙන්නේ බිලියන 123 යි. දුම්කොළ වලින් බිලියන 66 යි. බලපත්‍ර වලින් බිලියන 350 යි. ස්ටිකරයෙන් බිලියන 750 යි. සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉලක්කයයි සපුරාගත්ත ආදායමයි වෙනස බිලියන 92 යි. බදු ගෙවන්නේ නැති ගැටලුවක් තමයි තියෙන්නේ. විජයදාස රාජපක්ෂ කියනවා මත්පැන් බෝතල් වල ආරක්ෂිත ස්ටිකරයෙන් බිලියන 80 ක පමණ පාඩුවක් තිබෙනවා කියලා. බදු ගෙවන මිනිස්සුගෙන් තව තවත් බදු අය කරගන්නවා. ගෙවන්නේ නැති මිනිස්සුන්ගෙන් බදු අය කරන්න වැඩපිළිවෙලක් නෑ. නීති දාලා නැති බැරි මිනිස්සුන්ගේ සියලු දේ හුර ගන්නවා. කෝටි ගණන් බදු ගෙවන්න ඉන්න පිරිස් නිදැල්ලේ ඉන්නවා.

අයවැය පනත් කෙටුම්පත අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ පුණරාවර්ථන වියදම බිලියන 365 යි. බිලියන 214 ක් යුද හමුදාවට , බිලියන 14 ක් නාවික හමුදාවට , ගුවන් හමුදාවට 50 ක්. ඊට අමතරව බිලියන 110 ක් පොලිසියට. බිලියන 500 ක් පමණ තමයි ආරක්ෂාව සඳහා වියදම් කරන්නේ. සොල්දාදුවන්ගේ වැටුප් වැඩිවීමක් පෙනෙන්නට නෑ.

ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව නැති කර ගන්න විදුලි බිල වැඩි කළා. ඛණිජ තෙල් සංස්ථාවේ පාඩුව අඩු කරගන්න තෙල් මිල වැඩි කළා. විදුලිය නිපදවන්න යන වියදම අය කර ගන්න ඕන. ඒ අයකරගැනීම සාධාරණව අය කර ගත යුතුයි. විදුලිය සඳහා අය කිරීමේදී විදුලිය භාවිතා කරන ක්‍රමය වෙනස් වෙනවාද කියලා බලන්න ඕන. මාසයකට නිවසක කිලෝවොට් පැය 60 – 90 ත් අතර ප්‍රමාණයක් භාවිතා කරන්න බැරිනම් එම නිවස විදුලි දරිද්‍රතාවයට යටත් වෙනවා.‘‘


ප්‍රශ්නය – රාජ්‍ය සේවක වැටුප් වැඩිමක කරන්න පුලුවන් වෙයිද?

පිළිතුර – 12,500 කින් රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන බව ජනාධිපති කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා කියලා වාර්තා වෙනවා. වැටුප් වැඩි කරන්න වෙන කොහෙන් හරි මුදල් ගන්න ඕන. සල්ලි අච්චු ගහන්න දැන් බෑ. කොහේ හරි වැඩි කරනවානම් තව කොහේ හරි කපන්න ඕන. වැට් බද්ද සියයට 3 කින් වැඩි කළාම ලැබෙන ප්‍රමාණවත් ද? රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරන්න. එක පැත්තකින් පඩි වැඩිවෙනවා. අනිත් පැත්තෙන් ගෙවන්න තිබෙන බදු වැඩිවෙනවා. ඒ හරහා තමන්ගේ පොකට්ගේ ඉතිරිවෙන ප්‍රමාණය වැඩි වෙනවා කියලා හිතා ගන්න අමාරුයි. වැට් එකට වඩා වැටුප් වැඩීමක් සිදුවෙනවානම් කියක් හරි පොකට් එකේ ඉතිරිවෙන්න පුලුවන්. පඩි වැඩිවීමට වඩා වැට් එක වැඩිවෙනවානම් පොකට් එකේ කීයක්වත් ඉතිරි වෙන්නේ නෑ.

ප්‍රශ්නය – සුරාබදු දෙපාර්තමේන්තුවට ආදායම් නොලැබීම නිසා නේද බදු වැඩි කිරීමක් කරන්න සිදුවෙලා තිබෙන්නේ.

පිළිතුර – අරක්කු බෝතලේට ගහන සීල් එකේ විශාල වංචාවක් සිදුවෙනවා. විජයදාස රාජපක්ෂ කියනවා මත්පැන් බෝතල් වල ආරක්ෂිත ස්ටිකරයෙන් බිලියන 80 ක පමණ පාඩුවක් තිබෙනවා කියලා. මේ දූෂණය වංචාව නවත්වන්න ගන්න ක්‍රියාමාර්ග මොනවාද? වංචා කරන මුදලත් කොහොම හරි අරගෙන ඒ මුදලත් මදිනම් බදු වැඩිකරන එකේ සාධාරණයක් තියෙනවා. එසේ නොකර බදු වැඩි කිරීම අසාධාරණයි.