පෞද්ගලික හේතුවක් බව පවසමින් රොෂාන් මහානාම ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජිකත්වය අත් හරින්නට තීරණය කර ඇත.රොෂාන් මෙම වගකීම භාරගන්නේම ඒ සම්බන්ධයෙන් වන අදහසක් ද සහිතවය.එය ක්‍රිකට් ආයතනයේ පවතින ව්‍යහුයමය හැඩය එක්ක නොගැලපෙන තත්ත්වයේ එකක් විය. එය ක්‍රීඩා අමාත්‍යවරයාගේ හැඩය හා ද නොගැලපෙන එකක් ලෙස දුටු අතර මහානාම ඒ වෙනස් විය යුතු හැඩය සැකසීමේ අදහසකින් ඊට එක් විය. ක්‍රිකට් කොන්ත්‍රාත් සැකසීමේ සිට බොහෝ කරුණු තාක්ෂණීක කමිටුව හරහාම එන්නේ යන්නද පසුව ප්රශ්ණාර්තයක්ව තිබෙන තත්ත්වයට පැමිණ, සුළු කාලීන වසන්තය නිමා වී ඇත්තේ එය කෘතිම සුළඟක තත්ත්වයට පත් වෙමින්ය.
මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ සිට තාක්ෂණික කමිටුවේ බොහෝ අය ද ක්‍රිකට් ආයතන සුළඟෙ ගසාගෙන යන්නේ “ගත දැවටෙන මේ සීත සුළං රැලි අහෝ සැපයි” කියමින්ය. එහි අර්ථය තේරුම් ගන්නට සුනිල් එදිරිසිංහ ගයන කිවි පරාක්‍රම කොඩිතුවක්කු රචනා කරන ලද සොර දෙටුවෙක් ගීතයට සවන් දිය යුතුය. ඒත් රොෂාන් පෞද්ගලිකව ඒ සුළඟට අකමැති බව ඔප්පු කර කරළියෙන් බැස ගොස් ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණුකරුවන් ශ්‍රී ලංකාවට පැමිණීම සහ නැවත යාම සුලබය. යන්නේ බොහෝ විට අතර මැදය. එසේත් නැත්නම් ඔවුන්ම සේවා දිගුවක් සඳහා ඉල්ලීමක් නොකරය. මෑතකදී ගිය මිකී ආතර්ද මෙවර පැමිණියේ දෙවන වරටය. දැන් නව පත්වීමක් ලෙස පෝල් ෆ්රාබේස් පැමිණෙන්නේය. අප 20/20 ලෝක කුසලානය දිනන විට එම කණ්ඩායම පුහුණු කරමින් සිටි ඔහු අසතුටෙන් ශ්‍රී ලංකාව හැර ගියේය. දැන් සතුටුදායක ලෙස පෝල් ෆ්රාබේස් එකඟ වෙමින් සිටින්නේ දෙපැත්තේ සතුට සම්බන්ධ එකඟතාවයක් අනුව විය හැකිය. තාක්ෂණ කමිටුව,තේරුම් කමිටුව පත් වූ මොහොතේ ක්‍රිකට් ආයතනයට එදිරිව ක්‍රීඩාව ගොඩ දැමීම සඳහා විශාල උවමනාවක් සහිතව හැසිරෙනු දැක්කේය.
රොෂාන් පොදු හැඟීම වෙනුවෙන් සිය පෞද්ගලිකත්වය දිය කර හරින අපූරු පුද්ගල පෞරුෂයක්ය. ඔහු බැස යන්නේ ඒ පෞද්ගලික අවශ්යයතාවය රැකගනිමිනි. තනිව පාසල් හඳන, එස්.ඕ.එස් දරුවන් වෙනුවෙන් ජීවිතයේ වගකීමක් දරණ අපූරු පරාර්ථකාමි හදවතකට ක්‍රිකට්වලින් ගන්න හෝ ක්‍රිකට්වල රැදී සිට ක්‍රියාවට නංවන්නට තමන්ගේ න්‍යාය පත්‍ර නැත. නඩත්තු කරගෙන යාමට රජයේ සහය අපේක්ෂිත ව්‍යාපාර නැත. ඔහු ව්‍යාපාර ව්‍යාපාර හැටියටත්,ක්‍රිකට් ක්‍රිකට් හැටියටත් පවත්වාගෙන යනහැටි හොඳින් දන්නේය. ඔහු සහෝදරයන් දේශපාලනයට ගෙනෙන්න ක්‍රිකට් ගැහැව්වේ නැත. පෞද්ගලිකව දේශපාලන පක්ෂවලට සහය දෙන්නට ව්‍යාපාරිකයන් එකතු කරන්නේ නැත .රජයේ විවිධ ව්‍යාපාර කොන්ත්‍රාත් ලබා ගන්නේ නැත. ව්‍යාපාරවලට බලපාන ප්‍රශ්ණ දේශපාලිකව විසඳගන්න ඔහුට ඕනෑ නැත. ඔහුට ඇඳුම අඳින්නට විලි වසා ගැනීමේ උවමනාවට වඩා සංස්කෘතික හේතු ගණනක් ඇත. ඒ නිසා ඔහු ඒ ස්වාධීන පෞරුෂය තියාගෙන පෞද්ගලිකව බැස ගියේය.
සුගන්ධ රක්නායක