ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන අතර එම නියෝගය අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

මේම නියෝගය නිකුත් කල වහාම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එය පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර සිටියේය.

Sajith Premadasa

එතුමා කියා සිටියේ ක්‍රිකට් අතුරු කමිටුව දින 14කට තහනම් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇති බවත් මේ ආකාරයට නැවත ක්‍රිකට් ගොඩගත නොහැකි බවත් මෙයට හේතුව ආණ්ඩුව ඇතුලේ අර්බුධයක් මතුවූ නිසා බවත්ය.

ජනාධිපතිවරයා සහ ක්‍රීඩා ඇමතිවරයා මත දෙකක සිට කටයුතු කිරීම තවත් අර්බුධකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමක් බැවින් ක්‍රීඩා ඇමතිවරයා විසින් වහාම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදු කළ යුතු බවත් ක්‍රීඩා ඇමතිවරයාගේ කමිටුව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා කැබිනට් අනු කමිටුවක් පත් කිරීම විහිලුවට කරුණක් බවත් මේ වන විට මෙය කමිටු සූදුවක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට වැටී ඇති තැනින් ක්‍රිකට් ගොඩ ගැනීම සාමූහික ක්‍රියාවක් සේ සලකා විපක්ෂයක් ලෙස සහාය දීමට සූදානම් බවත් මෙහි ඇති දේශපාලන අතපෙවීම් ඉවත් කළ යුතු බවත් පාසල් සමයේ ක්‍රිකට් ක්‍රීඩා කළ අයකු ලෙස තමාට මේ සිදුවන දේවල් බලා සිටිය නොහැකි බවත් මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයා විධිමත් ප්‍රකාශයක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

තමා කිසිදු අවස්ථාවක ගරු අධිකරණයේ තීන්දු අභියෝගයට ලක් නොකරන බවත් රජය විසින් ගනු ලබන පරස්පර තීන්දු තීරණ නිසා අද වන විට ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි හානි සිදුව ඇති බවත් ආණ්ඩුවේ සිටින ඇතැම් පුද්ගලයන් මෙම දූෂිත ක්‍රිකට් පරිපාලනය රැකීමට උත්සාහ කරන බවත් එබැවින් පුද්ගලික හිතවත්කම් තුළ කටයුතු නොකර පොදු මතයක් තුළ කටයුතු කිරීමට ආරාධනා කරන බවත් ඒ සඳහා විපක්ෂයක් ලෙස උපරිම සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (7) පාර්ලිමේන්තුවේ දී ක්‍රිකට් ක්‍රීඩාව මුහුන දී ඇති ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.