එළඹෙන පාර්ලිමේන්තු සභා වාරය තුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි වන අතර ඒවා සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවටත් තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින් අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පක්ෂයේ නීතිඥයින් විසින් මෙම නඩුව ගොනුකරනු ලැබූ අතර එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන වලින් යුද හමුදාව, පොලිසිය සහ වෙරළාරක්ෂක බලකායට ඕනෑම පුද්ගලයකු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ බලය ලබාදී තිබෙන බවයි.

මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන පුද්ගල නිදහස, අදහස් ප්‍රකාශ කිරීම නිදහස ඇතුළු මූලික අයිතීන් උල්ලංඝනය වන බවත් මෙමගින් පෙන්වාදෙනු ලැබේ.

එබැවින් අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එම වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි.