රටේ නිර්මාණය වී ඇති ඩොලර් අර්බුදයට චූදිතයින් වන්නේ පොදුජන පෙරමුණ හෝ ආණ්ඩුව නොවන බව ජනාධිපති අගමැති පවසන බව පැවසූ විපක්ෂ නායකතුමා, එසේනම් එහි චූදිතයින්  වන්නේ සමගි ජනබලවේගය සහ සජිත් ප්‍රේමදාස දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් විමසා සිටියේය.

තරුණ තරුණියන් රට හැර යන්නේත්,රටේ කර්මාන්ත ශාලා වැසී යන්නෙත්, රට මෙතරම් ව්‍යසනයකට කඩා වැටී ඇත්තේත් ආණ්ඩුවේ වරදක් නිසා නෙවේ නම්  එහි වරද සමගි ජන බලවේගය හෝ සජිත් ප්‍රේමදාසගේ දැයි ඒ මහතා ප්‍රශ්න කළ අතර ආණ්ඩුව සිතාගෙන සිටින්නේ මේ රටේ ජනතාව කවුරුන්‍ කියාදැයි විමසීය.

රටපුරා එක එක පෝලිම් ඇති අතර ජනතාව පීඩාවට පත් කරන  මේ දුක් වේදනාවලට ඡන්ද පෝලිමේදී ජනතාව උත්තර දෙනු ඇතැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.

ගාල්ල ගල්බොක්ක,කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (27) එක්වූ විපක්ෂ නායකතුමා එහිදී කැස්බෑ පැටවුන් මුහුදට නිදහස් කිරීමටද එක්විය.

රටක් පාලනය කරන්නට අවශ්‍යකරන හැම බලයක්ම ,හැම නිලයක්ම, හැම තනතුරක්ම මේ රටේ ජනතාව මේ ආණ්ඩුවට ලබාදී ඇති බවත්, එහෙම බලයක් ලබා දී තිබියදීත් මේ රට ගොඩනැගීමේ හෝ මේ රට හැදීමේ කිසිදු හැකියාවක් වර්තමාන ආණ්ඩුවට නැති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

අද වන විට රට පුරා පෝලිම් ඇති වී තිබෙන බව පැවසූ විපක්ෂ නායකතුමා රට වැටී ඇති මේ ව්‍යසනයෙන් ගොඩ එන්නට හැකියාවක් සහ වැඩපිළිවෙලක් තිබෙනවාද කියා ඇතැමුන් අසන බවද පැවසීය.ඒ සඳහා තිරසාර නිශ්චිත වැඩපිළිවෙළක් සහ හැකියාවක් සමගි ජන බලවේගය සතු බව පැවසූ විපක්ෂ නායකතුමා වෙනත් විවිධ රැලි වලට හසුවී නැවත 2019 වර්ගයේ අත්හදා බැලීමක් නොකරන ලෙස ද පැවසීය.

එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය හේතුකොටගෙන රටට ලැබෙන්නට තිබූ වන්දිය නිවැරදිව තක්සේරු කොට ගෙන තවමත් ලබාගැනීමට හැකියාවක් වර්තමාන ආණ්ඩුවට නැති බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ පිළිබඳව නිසි පරිදි විග්‍රහයක් කිරීමේ හැකියාවක්වත් ආණ්ඩුවේ ඇමතිවරු බොහොමයකට නැතැයිද පැවසීය.

අද එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය බොහෝ දෙනකු අමතක කොට ඇතැයි පැවසූ විපක්ෂ නායකතුමා ,මේ ඛේදවාචකය නිසා රටට අහිමි වූ මත්ස්‍ය සම්පත පිළිබඳවත්,රටේ විනාශ වූ ස්වාභාවික සම්පත් පිළිබඳවත් කිසිදු තැකීමක් නොකරන බවද පැවසීය.