මේ මොහොතේ රටේ තිබෙන බරපතළම ප්‍රශ්නය වන්නේ මුදල් නැතිකම බවත් රටේ ජනතාව කල්පනා කළ යුත්තේ රටට මුදල් සහ විදේශ විනිමය ගෙන ආ හැකි කණ්ඩායම සිටින්නේ කොහෙද කියා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද(14) මහරගම ආසන බල මණ්ඩලයේ සමගි ජනබලවේග කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

සමගි ජන බලවේගයේ සිටින කණ්ඩායම හැකියාව, දක්ෂතාවය , කුසලතාවය පිරුණු කණ්ඩායමක් බව පැවසූ විපක්ෂ නායකතුමා,ඔවුන් සියලු දෙනා සමග එක්ව රට ගොඩනගන මෙහෙයුම ආරම්භ කරන බවද පැවසීය.

ඩොලර් හොයන ආකාරයත්,රට ගොඩ නඟන ආකාරයත්,විදේශ සම්බන්ධතා ශක්තිමත් කරන ආකාරයත් පිළිබඳව සැලසුමක් සහ වැඩපිළිවෙළක් සමගි ජන බලවේගයට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා,ඒ පිළිබඳව සැකයක් ඇති කර නොගන්නා ලෙස ද පැවසීය. 

සමගි ජන බලවේගය විපක්ෂයේ හිඳිමින් රටට දැවැන්ත වැඩ කොටසක් ඉටු කරමින් අගයක් එකතු කළ බව පැවසූ විපක්ෂ නායකතුමා සක්වල සහ හුස්ම වැඩසටහන් හරහා කළ මෙහෙවර සුවිශේෂී බව ද බව ද සඳහන් කළේය.

රටෙහි පවත්නා අන්ධකාරය නිමා කොට රිදී රේඛාව නිර්මාණය කිරීමේ වගකීම සහ හැකියාව සමගි ජන බලවේගය සතු බව පැවසූ විපක්ෂ නායකතුමා එයා ස්ථිර වශයෙන් ඉටුකරන බවද පැවසීය.