විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කළ තෛපොංගල් පණිවිඩය !

ස්වයංපෝෂිතව ස්වකීය කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට ආශීර්වාද කළ සොබාදහමටත් සියලු ජීවින්ටත් කෘතගුණ දැක්වීම සඳහා හින්දු භක්තිකයන් නව වසර උදාව තෛපොංගල් ලෙස ඉමහත් භක්තියෙන් සහ උත්සවශ්‍රියෙන් සමරනු ලබයි.අස්වැන්න නෙලීමේ උත්සවය යන අර්ථය දෙන මෙම සුවිශේෂී දිනය අදට යෙදී තිබේ.

තෛපොංගල් දිනය යනු එක් දිනක් තුළ සමරන උත්වසයක් නොවන අතර එය දින සතරක් පුරාවට සමරනු ලබන්නකි.

දමිළ, හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සුර්යයාට පුජා කිරීම මෙම දිනයේ දී කරනු ලබන අතර මෙම උත්සවය දමිළ ජනයා සදහා පමණක්ම වෙන්වුවක් නොවන බව පුරාණ ආගමික ග්‍රන්ථයන් ප්‍රකාරව එය මුලු ඉන්දියානු ජනතාවටම පොදු උත්සවයක් ලෙස හැදින්වේ.

මේ උත්සවයේ තවත් විශේෂිත අංගයක් වන්නේ නිවසේ ඇති කරන ගවයින් සහ එළදෙනුන් හට විශේෂ සැලකීම් කිරීමය.

මිනිස් ජීවිත ස්වභාදහම සමග සමීපව කටයුතු කිරීමෙහි අගය මනාව ඔප් නැංවෙන උත්සවයක් ලෙස තෛපොංගල් හැඳින්විය හැකි අතර සොබාදහම සහ මිනිසා අතර පවත්නා වූ අන්‍යෝන්‍ය සබැඳි සබඳතාව ශක්තිමත් වීමේ අගය මෙහිදී කුළුගන්වනු ලබයි.

මිනිසුන් අතර සහජීවනය සහ සාමය ඇති කරන්නට දෙවි ද සුවිශේෂී උත්සව අත්‍යන්තයෙන්ම ඉවහල් වන අතර සොබාදහම සමග බද්ධව සිදුකරන පූජෝත්සව අතුරින් තෛයිපොංගල් උත්සවයට හින්දු බැතිමතුන් ලබා දෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

ලෝකය තුළ නැවත නැවතත් ඔප්පු වෙමින් පවතින්නේ සොබාදහම සහ මිනිසා අතර සංහිඳියාවෙන් යුක්ත පැවැත්මක මෙන්ම සබැඳියාවක අගය වන අතර සොබාදහමට එරෙහිව කටයුතු කරන්නේ නම් එහි ප්‍රතිඵල ද ඊට සමානුපාතික වන බව ය.

එබැවින්,

ජාති ආගම් කුල මල වැනි පටු භේද අමතක කොට සොබා දහමට සමීප ජීවිතයක් ගත කිරීමේ වැදගත්කම අවශ්‍යයෙන් ම අවධාරණය කරමින් සියලු හින්දු බැතිමතුන්ටත්,ලෝ වාසී සියලුදෙනාටත් බැතිබර තෛපොංගල් දිනයක් ප්‍රාර්ථනා කරමි.

සජිත් ප්‍රේමදාස 
විපක්ෂ නායක