2015, 2016 හා 2017 යන වසරවල උසස් පෙළ විභාගයට මුහුණ දී ඉන් සමත්ව තමන්ගේ දක්ෂතාව කුසලතාව මත (Midwife) පවුල් සෞඛ්‍ය සේවාවට තේරුණ 2836 දෙනකුගෙන් දෙවැනි කණ්ඩායම වන 1657 දෙනකු පුහුණුව සදහා තවමත් කැදවා නොමැති බවත් ඔවුන් මව්වරුන් සහ දරුවන් ගේ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමටත් රෝග නිවාරණයටත් විශාල දායකත්වයක් සපයන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

රජයේ අරමුන මේ රටේ ජනතාව ජීවත් කරවීම නම් මේ අත්‍යාවශය සේවාවට බදවා ගැනීම් කඩිනම් කල යුතු බවත් මේ වන විට රටේ මේ ක්ෂේත්‍රයේ පුරප්පාඩු 3800 ක් ඇති මොහොතක මෙම දෙවැනි කණ්ඩායම බදවා ගැනීම කඩිනමින් සිදු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (10) පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ දෙවැනි කණ්ඩායමේ පුහුණුව ප්‍රමාද වූ පිරිස සමග සිදු කළ සාකච්ඡාවකදී ය.

මේ සදහා අයදුම්කල අයගේ සහතික පවා රජය අරගත් නිසා වෙනත් රැකියාවකට යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති මොහොතක මෙම පුහුණුව ලබා දී රැකියාවට බදවා ගැනිම රජයේ වගකීම බවත් මෙය මානුෂීයව සලකා කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා ලෙස තමාද මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.