ලෝකයේ අපහැදිලිම , අනාරක්ෂිතම , දුර්වලම විදේශ ගමන් බලපත්‍ර ලැයිස්තුවට ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය ඇතුළත් වී තිබෙන බවත්  ලංකාවේ විදේශ ගමන් බලපත්‍රට හිමිවන්නේ ලෝකයෙන්ම 97 වැනි  ස්ථානය බවත්  ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයේ තිබෙන්නේ පැරණි තාක්ෂණික ක්‍රමවේදයක් බවත් හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා පැවැසීය.

ලෝකයේ ආරක්ෂිතම විදෙස් ගමන් බලපත්‍රය මුද්‍රණය කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව ටෙන්ඩර් කැඳවුවත් එම ටෙන්ඩරය අවලංගු කර නැවත අවුරුදු 20 කට පෙර විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කළ සමාගමට විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණ ටෙන්ඩරය ලබාදීමට කටයුතු කිරීමේ සුදානමක් පවතින බවත් නිරෝෂන් පාදුක්ක මහතා  සඳහන් කළේය.

අවුරුදු 20 ක් විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කළ එපික් ලංකා ආයතනයටම නැවත විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරිම ලබාදුන්නොත් නැවත අපට ලැබෙන්නේ අලුත් පාස්පොට් එකක් නොවන බවත් 2003 මුද්‍රණය කළ අනාරක්ෂිත විදසේ ගමන් බලපත්‍රයම බවත් එය 2034 වනතුරු භාවිතා කිරීමට සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

විදසේ ගමන් බලපත්‍රයක්  මුද්‍රණය කිරීම සඳහා වැය වෙන්නේ ඩොලර් 5.89 ක් බවත්  ඩොලර් එකක් හෝ දෙකක් වංගු ගැහුවොත් ඩොලර් මිලියන 10 ක වංචාවක් මේ ටෙන්ඩර් ගණුදෙනුව හරහා සිදුවීමට ඉඩ ඇති බවත්

අධික බදු බරින් මිරිකි සිටින ජනතාවට ඉදිරියේදී පාස්පොට් එකටත් ලොකු මුදලක් ගෙවන්න සිදුවෙන තත්ත්වයක් උදාවන බවත් නිරෝෂන් පාදුක්ක  වැඩිදුරටත් සඳහන් කළේය.

ඊයේ (19) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නිරෝෂන් පාදුක්ක මහතා  මෙසේ පැවැසීය.

‘‘ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගොනු කිහිපයක් හදිසියේම මැකී යන අවස්ථාවේ එම දත්ත තොරුතරු භාරව සිටියේ එපික් ලංකා ආයතනය. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගොනු කිහිපයක් මැකී ගියේ එපික් ලංකා ආයතනයේ ආධුනික විධායක ඉංජිනේරුවකුගේ වරදින් බව එම ආයතනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශ කරනවා.  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට සිදුකළ හානිය නිසා ඖෂධ හොරු අද කිසිදු ගැටලුවක් නැතිව ඔවුන්ගේ කටයුතු සිදුකරගෙන යනවා.

රෝගවල තොරතුරු / පර්යේෂණාගාරවල තොරතුරු / තාක්ෂණික තොරතුරු අද වනවිට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. දත්ත පද්ධතිය අක්‍රීය වීම නිසා ඖෂධ හොරුන්ගේ රාජධානියක් බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවත්ව තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට හානි සිදුකළ එපික් ලංකා ආයතනය නිදැල්ලේ සැරිසරනවා වගේම එම ආයතනයට වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවේ රැකවරණය ලැබෙන බවකුත් පෙනෙනේනට තිබෙනවා. ඒ වගේම මෙම ආයතනය ඉවත් කිරීමට වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයාටද නොහැකි වෙලා තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට හානි සිදුකළ එපික් ලංකා අද අලුත්ම සෙල්ලමකට අත ගහන්න සූදානම් වෙනවා.  2003 දී අවුරුදු 10 කට පාස්පොට් ටෙන්ඩර් එක ලබාගන්නේ එපික් ලංකා ආයතනය.  2013 දී අලුතින් පාස්පොට් මුද්‍රණයට ටෙන්ඩර් කැඳවිය යුතුය තිබුණත් ටෙන්ඩර් කැඳවන්නේ නැතිව 2013 දීත් පාස්පොට් ටෙන්ඩර් එක ලබාගන්නේ එපික් ලංකා ආයතනය.

ලෝකයේ අපහැදිලිම , අනාරක්ෂිතම , දුර්වලම විදේශ ගමන් බලපත්‍ර ලැයිස්තුවට ලංකාවේ පාස්පොට් එකත් ඇතුළත් වෙලා තිබෙනවා.  ලංකාවේ පාස්පොට් එක තියෙන්නේ ලෝකයෙන්ම 97 වැනි තැන.  ලංකාවේ පාස්පොට් එකේ තිබෙන්නේ පැරණි තාක්ෂණික ක්‍රමවේදයක්. ඒක 2003 පෙර තමයි භාවිතා කළේ.

2023 ජුනි මාසයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ලෝකයේ ආරක්ෂිතම පාස්පොට් එක මුද්‍රණය කරන්න ටෙන්ඩර් කැඳවීමක් සිදුකරනවා. නමුත් ඒ ටෙන්ඩර් එක ගන්න ආයතනයක් නෑ. ඒ අනුව මේ ටෙන්ඩර් එක ඉවත් කරනවා.  ටෙන්ඩර් එක ඉවත් කළ පසු ලංකාවේ පාස්පොට් හිඟයක් ඇතිවෙනවා. පසුව ටෙන්ඩරය ඉවත් කරගත් නිසාත් පාස්පෝට් හිඟතාවය නිසාත් නැවත් ටෙන්ඩර් කැඳවන තෙක් එපික් ලංකා ආයතනයට පාස්පොට් මුද්‍රණය කිරීමට අවසරය දෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ යවපු කැබිනට් පත්‍රිකාවට අවසරට හිමිවෙනවා.

on arrival visa ගන්න ලංකාවට නොහැකි වෙලා තිබෙන්නේ  ලංකාවේ පාස්පොට් එක අනාරක්ෂිත නිසා. අවුරුදු 20 කට පෙර මුද්‍රණය කළ පාස්පොට් එකක් තමයි වර්තමානයෙත් භාවිතා වෙන්නේ.

නැවත මහජන ආරක්ෂක අමාත්‍යාංශය හරහා ආගමන විගමන දෙපාර්තමේන්තුව ටෙන්ඩර් කැඳවිමක් සිදුකරනවා.  අලුතින් පාස්පොට් එකට චිප් එකක් ඇතුළත් කරන්න යෝජනා කරගෙන තිබෙනවා. මේ ටෙන්ඩරයට කොන්දේසියක් දානවා මීට පෙර ලක්ෂ 30 කට වඩා පාස්පෝට් මුද්‍රණය කර තිබේනම් මෙම ටෙන්ඩරයට අයදුම් කරන්න මූලික සුදුසුකමක් කියලා.  ඒ අනුව අවුරුදු 20 ක් පාස්පොට් මුද්‍රණය කළ ආයතනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයු ඉන්දුනිසියාවේ ආයතනයට ටෙන්ඩරය සඳහා ඇතුලත් වෙන්න ටෙන්ඩර් කමිටුව පාර හදලා දෙනවා. මේ ක්‍රියාවලියේ සිටින මහ මොළකරු තමයි යහපාල රජය කාලයේ වැඩ තහනමකට ලක්වූ  රජයේ මුද්‍රණාලාධිපති ලෙස කටයුතු කළ ලලිත් ද සිල්වා.  මොහු රාජපක්ෂවරුන්ගේ ඡන්ද පොස්ටර් රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කළා කියලා වැඩ තහනමකට ලක් වුණා.

2023 නොවැම්බර් 23 වැනිදා පාස්පොට් ටෙන්ඩරයට අයදුම් කළ පුද්ගලයන්ට පුර්ව ලන්සු රැස්වීමක් පවත්වනවා.  මේ රැස්වීම මෙහෙයවන්නේ ලලිත් ද සිල්වා. කෙසේ හෝ මෙම පුද්ගලයාගේ මැදිහත්වීමෙන් මෙම ටෙන්ඩරය ලබාදෙන්න යන්නේ අවුරුදු 20 ක් පාස්පොට් මුද්‍රණය කළ එපික් ලංකා ආයතනයට.  සාමාන්‍යයෙන් පාස්පොට් එකක් මුද්‍රණය කිරීම සඳහා වැය වෙන්නේ ඩොලර් 5.89 යි.  ඩොලර් එකක් හෝ දෙකක් වංගු ගැහුවොත් ඩොලර් මිලියන 10 ක වංචාවක් මේ ගණුදෙනුව හරහා සිදුවෙනවා.

අධික බදු බරින් මිරිකිලා ඉන්න ජනතාවට ඉදිරියේදී පාස්පොට් එකටත් ලොකු මුදලක් ගෙවන්න සිදුවෙන තත්ත්වයක් තමයි තිබෙන්නේ.

අවුරුදු 20 ක් පාස්පොට් මුද්‍රණය කළ එපික් ලංකා ආයතනයටම නැවත පාස්පොට් මුද්‍රණය කිරිම ලබාදුන්නොත් නැවත අපට ලැබෙන්නේ අලුත් පාස්පොට් එකක් නෙවෙයි 2003 මුද්‍රණය කළ අනාරක්ෂිත පාස්පොට් එකම තමයි. 2034 වනතුරු නැවත මුද්‍රණය වන්නේ පැරණි පාස්පොට් එකමයි.

මැලේසියානු සමාගමක් එපික් ලංකා ආයතනය මිලදී ගැනීමේ සුදානමක් තිබෙනවා.  පාස්පෝට් ටෙන්ඩරය එපික් ලංකා ආයතනය ලබාගත් පසුව තමයි මැලේසියානු සමාගම අති විශාල මුදලකට එපික් ලංකා ආයතනය මිලදී ගන්නේ.  මැලේසියානු සමාගම මේ වනවිට මුදල් විශුද්ධිකරණයට හසුවෙලා තිබෙන ආයතනයක්.  එ වගේම මෙම ආයතනය බංග්ලාදේශයේ මිනිස් ජාවාරමකටද සම්බන්ධ බවට චෝදනා එල්ල වෙලා තිබෙනවා. ‘‘