මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ දින වැඩි කර රුපියල් 5000ක දීමනාව රජයේ සේවකයන්ට පමණක් ලබා දීම මගින් අහිංසක මිනිස්සුන්ට සාධාරණයක් ඉටු නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසයි .

ඔහු කියා සිටින්නේ රුපියල් 5000ක් දීලා විජ්ජාවෙන් මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න උත්සාහ ගන්නවා නම් ඒ රුපියල් 5000න් අහිංසක මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට නොවන බවයි .

වැඩි දුරටත් කියා සිටි කවින්ද ජයවර්ධන මහතා ,

“මේ වෙනකොට මේ රට දැවැන්ත ආර්ථික අර්බුදයකට පත් වෙලා තියෙනවා උද්ධමනයට පත්වෙලා හැම භාණ්ඩයකම මිල තුන් ගුණයකින් වැඩි වෙලා මේ වෙන විට අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් නොවේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිල වැඩි වෙලා එවන් තත්ත්වයක් තිබියදී මුදල් ඇමතිතුමා ඇමරිකාවේ ඉඳන් ඇවිත් නින්දෙන් අවදිවෙලා වගේ එකපාරම රුපියල් පන්දාහක් දුන්නා ඒ ගැන අපි සතුටුයි හැබැයි ප්‍රශ්නය තියෙන්නෙ පන්දාහක් මදි කියන එක එකෙන් කරන්න පුළුවන් මොකක්ද ගෑස් සිලින්ඩරයක් අරගෙන සැමන් ටින් කිහිපයක් ගත්තම හාල් කිලෝ පහක් දහයක් අරන් එළවළු කිහිපයක් ගත්තම පන්දාහයි ඉවරයි එළවළු ගන්න වෙලා තියෙන්නෙ ග්‍රෑම් ගණන් වලට ඒ තරම් ගණන් ඒ නිසා ආණ්ඩුවට කියනවා රුපියල 5000ක් දීලා ඒ විජ්ජාවෙන් මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න උත්සාහ ගන්නවා නම් ඒ 5000න් අහිංසක මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ.

ඒ වගේම මේ රටේ රාජ්‍ය සේවකයෝ ඉන්නවා මිලියන 1.5 ක්. මේ රටේ ඉන්නවා විශ්‍රාමිකයන් 650000 ක්.සමෘද්ධිලාභීන් මිලියන 2.2 ඉන්නවා මේ අයට බියගම තියෙන සල්ලි අච්චු ගහන මැෂිමෙන් අච්චු ගහලා දෙයි රාජ්‍ය නිලධාරීන්ට විතරක් මේ 5000 වැඩි කිරීමෙන් බිලියන 9.48ක් අච්චු ගහන්න වෙනවා එහිදී පෞද්ගලික ක්ෂේත්‍රයේ වැඩ කරන අය කම්කරුවෝ, ශ්‍රමිකයෝ, ධීවරයෝ, මේ රටේ තේ දලු නෙලන කාන්තාවගේ ඉඳන් අහිංසකද රෙදිපිළි කර්මාන්තයේ නියැලෙන සංචාරක ක්ෂේත්රයේ නියැළෙන අයට මොකද වෙන්නේ.මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බඩගින්න මාධ්‍යවේදීන්ගේ බඩගින්න තේරෙන්නේ නැද්ද මේ ආණ්ඩුවට. ඒ නිසා අපි කියනවා මේ විජ්ජාව කරන්න එපා මේ රටේ සල්ලි මැෂිම තියෙනකං අච්චු ගගහා බෙදයි හැබැයි එය බෙදන්නේ කොටසකට පමණයි අනිත් කොටසට මොකද වෙන්නේ අපි දන්නවා මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න වැඩපිළිවෙළක් කරන්නේ නැතිව සල්ලි අච්චු ගහලා බෙදලා කරන්න මේ ආණ්ඩුව හිතෙනවනම් රටට වෙන්නේ මොකක්ද කියන පිළිබඳව ආර්ථික විශේෂඥ වෙන්න ඕන නැහැ එය තේරුම් ගන්න පුළුවන් .

අද සල්ලි තිබුනත් කිරිපිටි තියෙනවද , ගෑස් තියෙනවද, සිමෙන්ති තියෙනවද, අද සල්ලි තිබුනත් බඩු ගන්න විදියක් නැහැ ඒක නිසා මේ ආණ්ඩුව රටේ ආර්ථිකය දිනෙන් දින අනලා අගාධයට ගෙනියනවා මිසක් දැක්මක් ඇතිව රටේ ආර්ථිකය ගොඩ ගන්න කටයුතු කරන්නේ නැහැ.”

මේ අදහස් දැක්වූයේ අද(04) විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි .