ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ 2019 වසරේ බලයට පැමිණි පිරිස, බලය ලබාගැනීම සඳහා රට තුල බෙදීම් ඇතිකරමින් කතෝලික ජනතාව ඉලක්ක කරගත් වැඩපිළිවෙලක් ගෙන ගියද, සමගි ජන බලවේගය කිසිඳු අවස්ථාවක බලය ලබාගැනීම වෙනුවෙන් එවැනි දෙ සිදුකිරීමට සුදානම් නොමැති බව එස් එම මරික්කාර් මහතා පවසනවා.

එතුමා කියා සිටින්නේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාස්කු කුමන්ත්‍රණයේ මහා මොළකරුවන් රටට හෙලිකිරීම සහ අපරාධකරුවන්ට දඬුවම් දීම වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙලක් ලිඛිතව කාදිනල් හිමිපාණන් වෙත ලබා දී තිබෙන අතර කාදිනල් හිමිපාණන් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණත් හදිසියේ ලිඛිත ප්‍රකාශයක් කාදිනල් හිමිපාණන් වෙත ලබා දී තිබෙන බවයි.

මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ හදිසියේ පාස්කු කුමන්ත්‍රණය රටට හෙළිකිරීමේ වැඩපිළිවෙලක් පිළිබඳව ලිඛිතව ලබා දුන් නමුත් එම පක්ෂයට රටේ ආර්ථික ප්‍රශ්න විසඳීමට පවා කිසිඳු අධ්‍යනයක් කර නිශ්චිත ප්‍රයෝගික වැඩපිළිවෙලක් නොමැති බවත් එමනිසා පක්ෂ දෙක අතර පැවැත්වීමට නියමිත විවාදය පවා මගහරිමින් සිටින බවයි.

‘‘ජනාධිපති නීතිඥවරු දෙදෙනෙකු සමඟ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හොයලා ඔවුන්ට දඩුවම් ලබාදිය යුතු ආකාරය ගැන ලිඛිතව කාදිනල් හිමිපාණන්නට ලිපියක් ලබාදීලා තිබෙනවා. කාදිනල් හිමියන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කළාට පස්සේ තමයි ජනතා විමුක්ති පෙරමුණ ගිහින් ලිපියක් භාර දුන්නේ. ඔවුන් ඒ සම්බන්ධයෙන් අධ්‍යනයක් කරලා තිබෙනද දන්නේ නෑ. මොකද ඔවුන්ට ආර්ථිකය සම්බන්ධයෙන් හෝ වෙනත් ක්ශ්‍රේත්‍රයක් සම්බන්ධයෙන් අධ්‍යනය කරපු කිසිදු වැඩිපිළිවෙළක් නෑ. ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණ ආර්ථිකය සම්බන්ධ විවාදයකට එන්නේ නැත්තේ. කතෝලික ජනතාව සහ කාදිනල් හිමියන් දන්නවා පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන්ට සාධාරණයක් වෙන්නේ සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ බව. කාදිනල් හිමියන්ව දේශපාලන කටයුතු සඳහා යොදාගන්න සමගි ජනබලවේගය කිසිදු සුදානමක් නෑ. නමුත් ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පිරිස කතෝලික ජනතාවගේ ඡන්ද ඉලක්ක කරගෙන බොහෝ දේවල් සිදුකළා.‘