ගෑස් මිල, සිමෙන්ති මිල, කිරිපිටි මිල වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල හිතු මනාපෙට අහස උසට ඉහළ යද්දී තමන්ට එම මිල පාලනය කිරීමට නොහැකි යැයි කියන්නට ආණ්ඩුවක් කුමකටදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) ආණ්ඩුවෙන් ප්‍රශ්න කොට සිටියේය.

මේ ආණ්ඩුවට රට ගොඩනගනවා තබා අඩු තරමේ ආර්ථිකයවත් කළමනාකරණය කර ගැනීමේ කිසිදු හැකියාවක් නැති බව ඉතා හොඳින් ඔප්පු කොට ඇතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ මොහොතේ ජනතාව මුහුණ දී සිටින බරපතළ ප්‍රශ්නවලින් ජනතාව මුදාගෙන, ඔවුන්ගේ ජන ජීවිත සුරක්ෂිත කිරීමේ හැකියාව ආණ්ඩුවට නැතිනම් ඒ බව පිළිගෙන වහාම ඉවත් වී, මේ රට ගොඩනැඟිය හැකි කණ්ඩායමකට ඒ වගකීම භාරදෙන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද විපක්ෂ නායකතුමා පැවසීය.

ජනතාවට සියලු ආදායම් මාර්ග අවහිර වී ඇති බවත් ඒ සමගම රටේ මන්දපෝෂණය ඉහළ යමින් පවතින බවත් පැවසූ විපක්ෂ නායකතුමා රටේ සමස්ත ජනතාවම අන්ත අසරණ අඩියකට වැටී ඇති බවද පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරනු ලබන සමාජ සත්කාර වැඩසටහනෙහි 31 වන පියවර ලෙස රුපියල් ලක්ෂ විස්සක (රු. 2,000,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තන්තිරිමලේ ප්‍රාදේශීය රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබූ අතර එම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ අදහස් පළ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දායකත්වයෙන් තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන්නට යෙදෙන කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයට සමගාමීව එහි කටයුතු පිළිබඳව විමසා බැලීමට ද විපක්ෂ නායකතුමා එම විහාරස්ථානයට පැමිණි අතර තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍යපාද තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ඒ පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට එක්වූ අතර ඒ මහතා විසින්,

  1. Multiparameter Monitor – රු. 295,000.00
  2. fetal Monitor with recorder – S3 + fetal Heat Doppler- රු.400,000.00
  3. Autoclave – 595,000 x 2 1,190,000.00
  4. Digital BP – 24,500.00
  5. Aneroid – 20,000.00
  6. Surgical Instrument set for Gynecology and Emergency – 70,500.00

යන උපකරණ තන්තිරිමලේ ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරි වෛද්‍ය මංජුල ගුණතිලක මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය.

balavegaya Screenshot 20211011 154327

මීට වසර 13 කට පෙරාතුව අනුරාධපුරයේ පැවති කාර්යාලයක් විවෘත කිරීමේ ජනහමුවකදී ත්‍රස්ත ප්‍රහාරයකට හසුව අභාවප්‍රාප්ත වූ කීර්තිමත් රණවිරු මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ප්‍රමුඛ විසි නව දෙනකු සිහිපත් කරමින් පැවැති ගුණානුස්මරණයටද එක්වූ විපක්ෂ නායකතුමා, රෝහල් උපකරණ පරිත්‍යාගයෙන් ලැබෙන කුසල්, මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු අභාවප්‍රාප්ත වූ පිරිසට ද අනුමෝදනා කළේය.

මෙම අවස්ථාවට තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍යපාද තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කොට වදාළ අතර, සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර, හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, හිටපු අමාත්‍ය පී හැරිසන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 30 ක් තුල ලක්ෂ 876 ක (රුපියල් 87,634,000) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජනබලවේගය කටයුතු කරනු ලැබීය.