හැකි ඉක්මනින් මැතිවරණයක් පවත්වන ලෙස සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවට අභියෝග කර සිටියි.

මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

2023 වසර අවසන්වීමෙන් පසුව ජනාධිපතිවරණයක් කැඳවීමටද ජනාධිපතිවරයාට අවස්ථාව හිමිවන බවත් මෙම වසරින් පසු ඕනෑම මොහොතක මැතිවරණයක් පැමිණීමේ හැකියාව තිබෙන බැවින් සමගි ජන බලවේගය ඒ සඳහා සූදානම් වෙමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

කල්දමා ඇති පළාත් සභා මැතිවරණය මෙන්ම පළාත් පාලන මැතිවරණයද හැකි ඉක්මනින් පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන තිස්ස අත්තනායක මහතා, එම මැතිවරණවලදී ජනතා බලය පෙන්වීමට සූදානම් බවද පවසනවා.

සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානය සඳහා එක්වීමට ඕනෑම දේශපාලන පක්ෂයකට, දේශපාලන කණ්ඩායමකට හැකි බවද තිස්ස අත්තනායක මහතා අවධාරණය කරනවා.