මෙරට සමස්ත ජනගහනයෙන් මිලියන 1.7කට ආසන්න සංඛ්‍යාවක් ආබාධ සහිත පුද්ගලයින් වන අතර, ඔවුන්ට සිය අවශ්‍යතාවයන් හා උවමනාවන් සපුරා ගැනීමේ දී මුහුණ දෙන බරපතළ ගැටලු රැසක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(10) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබීය.

වෛද්‍ය පහසුකම්, අධ්‍යාපනය සහ රැකියා කටයුතුවලට යොමු වීමේ දී මෙරට පොදු පහසුකම්වල පවතින අඩුපාඩු නිසාද ඔවුන් දුෂ්කරතාවයන් රැසකට මුහුණ දෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, ඔවුන් මුහුණ දෙන ගැටළු හතක් පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කරනු ලැබීය.

ඒ, 27/2 හරහා ප්‍රශ්නයක් නගමිනි.

ස්ථාවර නියෝග 27(2) යටතේ විපක්ෂ නායක තුමා විසින් අසනු ලැබූ ප්‍රශ්නය.

මෙරට සමස්ත ජනගහනයෙන් මිලියන 1.7කට ආසන්න සංඛ්‍යාවක් ආබාධ සහිත පුද්ගලයින් වේ. ඔවුන්ට සිය අවශ්‍යතාවයන් හා උවමනාවන් සපුරා ගැනීමේ දී එනම්, වෛද්‍ය පහසුකම්, අධ්‍යාපනය සහ රැකියා කටයුතු වලට යොමු වීමේ දී මෙරට පොදු පහසුකම්වල පවතින අඩුපාඩු නිසා දුෂ්කරතාවයන් රැසකට මුහුණ දීමට සිදුව තිබේ.
මෙම ආබාධ සහිත ජනතාවගේ අවශ්‍යතාවයන් මෙන්ම, කුසලතා හඳුනා ගනිමින් රටේ සාමාන්‍ය පුරවැසියන් ඉලක්ක කොට සිදුකරන සියලුම සුබසාධන සහ සංවර්ධන ක්‍රියාදාමයකටම ආබාධ සහිත තැනැත්තන් දායක කර ගැනීම සඳහා කටයුුතු කළ යුතුයි. ඒ සඳහා ආබාධ සහිත ප්‍රජාව මුහුණ දෙනු ලබන භෞතික මෙන්ම ප්‍රතිපත්තිමය බාධා ද ඉවත් කිරීම සිදු කළ යුතුයි. එසේම, ආණ්ඩුව ආබාධිත ප්‍රජාවට සිය අභියෝග ජයගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා මූලිකත්වය දී කටයුතු කළ යුතුයි.
ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

  1. ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2020 වර්ෂයේ දී යාවත්කාලීන කර ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව එවකට විෂයභාර අමාත්‍යතුමිය විසින් පාර්ලිමේන්තුවේ දී 2020.02.06 දින ප්‍රකාශ කරනු ලැබීය. එම සැලැස්ම මෙතෙක් ක්‍රියාත්මක නොවූයේ ඇයි? මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන්නේ කවදා වනවිට ද? ‍
  2. ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 33 වැනි වගන්තියේ සඳහන් නිර්ණායකයන්ට අනුකූලව සංශෝධනය කරනු ලැබූ නව පනත් කෙටුම්පත මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවීමට හේතු කවරේ ද? මෙය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරන්නේ ද? එසේනම්, ඒ කවදා වනවිට ද?
  3. ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට සිය අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේ දී සංඥා භාෂාව අත්‍යාවශ්‍ය වේ. මේ වනවිට කෙටුම්පත් කර ඇති සංඥා භාෂා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවූයේ මන් ද? මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ කවදා වනවිට ද?
  4. මෙරට රාජ්‍ය ආයතනයන් හි සංඥා භාෂා පරිවර්තකයින් කොපමණ සංඛ්‍යාවක් සේවයේ යෙදී සිටී ද? එම පිරිස ප්‍රමාණවත් යැයි රජය සිතන්නේ ද? නොඑසේනම්, ඉදිරියේ දී රාජ්‍ය සේවයට සංඥා භාෂා පරිවර්තකයින් බඳවා ගැනීමට රජය කටයුතු කරන්නේ ද?
  5. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පාසල් අධ්‍යාපනය සඳහා යොමු කරවීමේ රජයේ සැලසුම කුමක් ද? මෙම දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා විශේෂ පුහුණුවලත් ගුරුවරුන් ප්‍රමාණවත් පරිදි සිටී ද? පාසල් අධ්‍යාපනයෙන් පසු මෙම දරුවන් වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමු කරවීමට රජය සතු වැඩපිළිවෙල කුමක් ද?
  6. ප්‍රවේශ පහසුකම් නොමැතිවීම ආබාධිත ප්‍රජාවට රාජ්‍ය ආයතන වල සේවාවන් ලබා ගැනීම සඳහා බාධාවක් වී ඇති බව රජය දන්නේ ද? එසේනම්, ඒ සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේ ද? ඉදිරියට ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා සැලසුම් අනුමත කිරීමේ දී ආබාධිත ප්‍රජාවගේ ප්‍රවේශ පහසුකම් අනිවාර්ය අංගයක් විය යුතු බවට විධිවිධාන ගෙන ඒමට රජය කටයුතු කරන්නේ ද?
  7. ආබාධ සහිත පුද්ගලයින්ට රජය මගින් ලබාදෙන රුපියල් 5000/- දීමනාව සමෘද්ධි බැංකු හරහා පමණක් ලබා දීමට කටයුතු ආරම්භ වී ඇති බවත්, මේ හේතුවෙන් පසුගිය මාස 2 තුළ එම දීමනාව ආබාධිත පුද්ගලයින්ට නොලැබී ඇති බවත් වාර්තා වේ. මෙහි සත්‍යතාවය කුමක් ද? මෙම දීමනාව සමෘද්ධි බැංකුව හරහා පමණක් ලබා දීමට කටයුතු කිරීම තුළින් ආබාධිත ප්‍රජාව බොහෝ අපහසුතාවයන්ට මුහුණ දෙන බව රජය දන්නේ ද? ඒ සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේ ද?

සජිත් ප්‍රේමදාස (පා.ම.)
විපක්ෂ නායක