ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බරපතල වංචා දූෂණ රැසක් සිදුව ඇති බවත් එහි අධ්‍යක්ෂ මණ්ඩලය අසම්පූර්ණ බවත් එහි සිටින විශේෂඥවරුන්ගේ අඩුවක් පවතින බවත් ඒ සඳහා එවන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම, සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා විසින් ඇගයීමේ කමිටු සහ විශේෂඥ කමිටුවලට සහභාගී වීම වැනි අකටයුතුකම් රැසක් සිදුවන බවත් මේ සම්බන්ධයෙන් වහාම විෂය භාර අමාත්‍යවරයා සහ ලේකම්වරයා පියවර ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (27) පැවසීය.

රජයේ ඖෂධ වේදීන්ගේ සංගමයේ සාමාජිකයන් රැසක් අද විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී ජාතික ඖෂධ නියාමන අධිකාරිගේ මතුව ඇති ගැටලු රැසක් සම්බන්ධයෙන් දැනුවත් කර සිටියේය. එම දැනුවත් කිරීමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කර සිටියේය.

අපේ රටේ ඖෂධ සම්බන්ධ නීති රීති අනුව ඖෂධ ලියාපදිංචි කිරිමේ විධිමත් ක්‍රියාවලියක් ඇති බවත් එහි දී හදීසි තත්ත්වයක දී ක්‍රියාත්මක විය යුතු ක්‍රමවේදයක් පැවැතියත් එම ක්‍රමවේදය වර්තමානයේ උපයෝගී කර ගෙන දූෂිත හා වැරදි ආකාරයෙන් ඖෂධ ලියාපදිංචියෙන් බැහැර කර මිල දී ගැනීමට එහි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති කටයුතු කර ඇති බවත් එම නිසා බාල ඖෂධ වෙළෙඳපොළට මුදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වී ඇති බවත් විපක්ෂ නායකවරයාට මෙහි දී දැන ගන්නට ලැබුණි.

මේ හේතුව නිසා පසුගිය කාලයේ දී ඖෂධ රැසක් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වූ බවත් තමන්ගේ ඖෂධ මාෆියාව රැක ගැනීම උදෙසා මෙම ආයතනයේ ජ්‍යෙෂ්ඨතම 23 දෙනකු මාරු කර ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙම ආයතනය තුළ සිදුවන කිසිදු ගණුදෙනුවක් පිටතත නොයවන ලෙසට තහංචි චක්‍රලේඛන පවා නිකුත් කර තිබීම පුදුමයට කරුණක් බව යි.

තවද ඖෂධ මිල නියාමන කමිටුව විසුරුවා හැර ප්‍රධාන විධායක නිලධාරියා තමන්ගේ විධාන තුළ මිල නියම කරන බවත් මේ මහා විනාශය රටට හෙළි දරව් කරන බවත් පාර්ලිමේන්තුවේ වගකීම හා වගකීම යටතේ උත්තර බදින්නට ඔවුන්ට සිදුවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂයක් ලෙස මේ දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන් ලක්ෂ 220ක් වූ ජනතාවට හෙළිදරව් කරන බවත් එම දූෂිත ක්‍රියාදාම විභාග කරන බවත් මෙය රටට මහා අගතියක් විය හැකි බැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.