ජාති, ආගම්, කුලමල පක්ෂ භේදයකින් තොරව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික අයිතියක් වන ඡන්ද අයිතිය පවා වත්මන් කැබිනට් එක විසින් අවහිර කර ඇති බවත් පළාත් සභා මැතිවරණයට අදාළ වන ඇප තැන්පත් භාර ගැනීම පවා ඊයේ කැබිනට් එක විසින් නතර කිරිමට අනීතිකිව තීන්දු කර ඇති බවත් වත්මන් විධායකය සහ කැබිනට් මණ්ඩලය එකට එකතු වී ජනතාවගේ මූලික අයිතිය පාගා දමන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ නිසා සමාජයේ ඇති වූ ආන්දෝලනය තුළ එම තීන්දුව ආපසු හරහා ගැනීමට සිදු වුවත් මේ වරද සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ජාතියෙන් සමාව ඉල්ලා සිටිය යුතු බවත් රටක් ලෙස මෙවැනි විකෘති වැඩ සිදු නොකර නව තාක්ෂණයෙන් යුත ගමනක් යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) කතරගම දී පැවසීය.කතරගම ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ පණහක් වටිනා බස් රථයක් සක්වල 68වන අදියර හරහා පරිත්‍යාග කරමින් විපක්ෂ නායකතුමා මේ බව කීය.

එසේ ම ගත යුතු ආරක්ෂක පියවර සහිතව මේ රටේ සෑම දරුවකුටම පරිගණකයක් අයිති කර ගැනීමේ වරම ලබා දෙන බවත් මෙරට අනාගතය විය යුත්තේ දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් බවත් ඒ සඳහා තොරතුරු වෙත, ඉගැන්වීමට, දත්ත සදහා ප්‍රවේශයක් පැවැතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම බංකොලොත් වූ රටක ප්‍රතිපාදන නොමැති කතා, පස්සේ බලන කතා නොමැතිව අපේ හැකියාව සහ උත්සාහය මත මෙරට අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් විශාල අගයක් එකතු කිරීමට හැකි වූ බවත් විපක්ෂයේ සිට වුව බලයක් නොමැතිව වුව ඇමතිකම්, ජනාධිපතිකම්, අගමැතිකම් නොමැතිව ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් කළ බවත් 74 වසරක් විපක්ෂයේ කාර්යභාරය සම්පූර්ණයෙන් වෙනස් කර ජනතාව වෙනුවෙනු විශාල සේවාවක් සිදු කරමින් මැද මාවතේ ගමන් කිරීමට හැකියාව තිබූ බවත් විපක්ෂයේ සිට වුව ජනතාවට සේවය කළ හැකි බව ප්‍රායෝගිකව පෙන්වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ විපක්ෂයේ සිට විවිධ නාලිකාවලට සම්මුඛ සාකච්ඡා පමණක් ලබා නොදී සාම්ප්‍රදායික රාමුව අතික්‍රමණය කරමින් ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් කළ බව යි.

තවද ජනතාව වැඩ කළ හැකි පිරිසක් ඉල්ලා සිටියත් මේ රජයේ සිටින්නේ කයිවාරු කාරයෝ බවත් විපක්ෂයේ සිටින ඇතැම් පක්ෂවලද දක්නට ලැබෙන්නේ කයිවාරු කාරයෝ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රටේ පාලකයන්ට මෙතෙක් කාලයක් අවශ්‍ය වී තිබුණේ පාලකයන්ට වන්දනාමාන කරන වන්දිභට්ටයන් පිරිසක් වුවත් සක්වල වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් වත්මන් විපක්ෂයේ අරමුණ වූයේ උගත් පරපුරක්, සුහුරු තාරුණ්‍යයක් සහ විශාල පෞරුෂයක් ඇති පුරවැසි පරපුරක් නිර්මාණය කිරීම බව යි.

කැට හොල්ලන, රට ගිනි තියන පරපුරක් නිර්මාණය කිරීම අවශ්‍ය නොවන බවත් මේ වන විට පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට නම් ඩොලර් අවශ්‍ය බවත් එම මුදල් ගෙන ආ හැකි පුද්ගලයාට බලය ලබා දීම ජනතාවගේ වගකීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ නෑ, බෑ කියන සංකල්පය මත කිසිදු අවස්ථාවක රටක ප්‍රශ්න විසදෙන්නේ නොමැති බව යි. ජනතාව ඉල්ලා සිටින එම විසදුම ලබා දීමේ දක්ෂතාව තමන් ඇතුළු සමගි ජන බලවේගය සතුව පවතින බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස්රථ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන විට සමහර පක්ෂ එය දරුණු ලෙස විවේචනය කරන බවත් නමුත් ඔවුන්ගෙන් ද සිදුවිය යුත්තේ මෙවැනි වැඩසටහන් සඳහා උපකාර ලබා දීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එසේ නිර්දය ලෙස විවේචනය කරන පිරිස් කිසිදු අවස්ථාවක ජනතාව වෙනුවෙන් වැඩක් නොකළ බව යි.

එබැවින් කවුරු විවේචනය කළත් කවුරු මඩ ගැහුවත් මේ සක්වල වැඩසටහන නැවැත්විය නොහැකි බවත් තවත් පාසල් 250කට වැඩි ප්‍රමාණයක් බස් රථ ඉල්ලා ඇති බවත් එම ඉලක්කය අසීරු වුවත් කෙසේ හෝ එය සපුරා ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.