රාජපක්ෂලා විනාශ කරපු, බංකොලොත් කරපු රට යළි ගොඩනැගීමට නම් ජනතාවාදී ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බවත් එවැනි ජනතාවාදී ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරිමට හැකියාව තිබෙන්නේ සමගි ජනබලවේගයට පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා කියා සිටිනවා.

සමගි ජනබලවේගයේ විදේශ කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා මේ බව කියා සිටියේ ඊයේ (14) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රටේ දරුවන් වෙනුවෙන් විදේශ රටවලට ගොස් තමාට හිඟා කෑමට සිදුවූ බව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියා.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් නිරෝෂන් පෙරේරා මහතා කියා සිටියේ ජනාධිපතිවරයා රට රටවලට ගොස් හිඟා කන විදියට එම මුදල් නැවතත් මේ රටේ දරු පරපුරට ගෙවීමට සිදුවන බවත් රටේ වත්මන් තත්වය හමුවේ ජනාධිපතිවරයා වශයෙන් සිදුකළ යුතුව තිබෙන්නේ විදේශ රටවලට ගොස් මුදල් හිඟා කෑම නොව ඔහු යටතේ තිබෙන මුදල් අමාත්‍යංශය හරහා බදු මුදල් පැහැර හැර තිබෙන ආයතන වලින් එම බදු මුදල් ලබාගැනීම බවත්ය.

“ජනාධිපතිවරයාගේ මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයකරගැනීමට තිබෙන ණය ප්‍රමාණය ට්‍රිලියනයක් පමණ වෙනවා. ඒ මුදල් ප්‍රමාණය අයකර ගන්නේ නැතිව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වලට අයකරන බද්ද සියයට 18 කින් වැඩි කරලා තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂය කියනවා වැට් බද්ද සියයට 15 දක්වා අඩුකරනවා කියලා. මෙයින් පෙනි යන්නේ රජයට කිසිදු ආර්ථික ප්‍රතිපත්තියක් නැති බවයි. මේ හේතුවෙන් රටේ තිබෙන කර්මාන්තශාලා දැඩි අපහසුතාවයකට පත්වෙලා තිබෙනවා. ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති නිසා රටට පැමිණෙන ආදායම් මාර්ග අවහිරවෙනවා. රජය කඩාගෙන වැටුණ ව්‍යාපාර නගා සිටුවන්න , අලුත් ආදායම් මාර්ග ඇතිකරන්න රජයට කිසිදු වැඩපිළිවෙළක නෑ. රජයේ එකම පරමාර්ථය සාමාන්‍ය ජනතාවට බදු ගහලා රට තව තවත් බංකොලොත් කිරිමයි.

රාජපක්ෂලා විනාශ කරපු බංකොලොත් කරපු රට යළි ගොඩගන්න ජනතාවාදී ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුයි. ජනතාවාදී ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරිමට හැකියාව තිබෙන්නේ සමගි ජනබලවේගයට පමණයි.

සමගි ජනබලවේගය ආරම්භ කළ දවසේ සිට ශක්තිමත් සම්බන්ධතාවයක් විදෙස් රටවල් සමඟ පැවැත්වුවා. රටේ ප්‍රශ්න විසඳුන විදේශ ප්‍රතිපත්තියක් සමගි ජනබලවේගය ක්‍රියාත්මක කරන්නේ. ඉන්දියාන යනු ලෝකයේ දියුණුතම රටවල් අතරින් එකක්. ආර්ථික වශයෙන් බලවත් වන රටක් ලෙස ඉන්දියාව හදුන්වා දෙන්න පුලුවන්. එනිසා ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව ගණුදෙනු කළ යුතුයි. ඉන්දියාව සමඟ ගනුදෙනු කරද්දී ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රයෝජනයක් වන ආකාරයේ කටයුතු සිදුකළ යුතුයි. කිසි වෙලාවක රට බාල්දු වන විදේශ ප්‍රතිපත්තියක් සමගි ජනබලවේගය අනුගමනය කරන්නේ නෑ”