රටේ ජනතාවට මේ වන විටත් කිසිඳු ප්‍රතිලාභයක් නොලැබෙන රාජ්‍ය සම්පත් රැසක් තිබෙන බවත්, එම සියලු සම්පත් ජනතාවට හිමි බවත් සමගි ජන බලවේග රජයක් යටතේ ජනතාවට හිමි එම රාජ්‍ය සම්පත්වල ප්‍රතිලාභ වැඩිකරගනිමින් එම ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන බවත් ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ පසුගියදා විපක්ෂ නායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එතුමා වැඩිදුරටත් දැක්වූ අදහස්,

“රටේ තිබෙන සම්පත් විකුණනාවා කියලා විවිධ පාර්ශ්ව පසුගිය සතියේ ප්‍රකාශ කරලා තිබුණා. නමුත් සිදුකළ යුත්තේ රජයේ සම්පත් වලින් ලැබෙන ප්‍රතිලාභ ජනතාවට බෙදා දීමයි. එය රජයේ වගකීමක්. එසේ සිදුකළාම රටේ ජනතාවට දුපපත් වී සිටින්න ඕන නෑ. රජයෙන් යැපෙන්න ඕන නෑ. කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන රජය සතු සම්පත් රැසක් රට තුළ තිබෙනවා. රජය සතු මෙම සම්පත් වලින් රටේ මහ ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නෑ. ඊට දේශපාලඥයින් වගකිව යුතුයි. රටේ සම්පත් අයිති රටේ ජනතාවට. රජයේ සම්පත් වලින් ප්‍රතිලාභ වැඩි කර ගන්නේ කෙසේද කියලා සොයා බලලා ඒ ප්‍රතිලාභ ජනතාවට ලබාදෙන්න සමගි ජනබලවේග රජයකින් කටයුතු කරනවා.

මැද පෙරදිග තෙල් විකුණලා අද වනවිට විශාල පරිවර්තනයක් සිදුවෙලා තිබෙනවා. ගුවන් සේවාවේ මධ්‍යස්ථානයක් බවට අද මැද පෙරදිග පත්වෙලා තිබෙනව. ඔවුන් අද එවැනි තැනක සිටින්නේ රටේ සම්පත් නිසියාකාරව භාවිතා කරපු නිසයි. රටේ තිබෙන සම්පත් සුදුසු වෙලාවේ භාවිතා නොකළහොත් විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුවත් සමඟ වටිනාකම පහළට යන්න පුලුවන්. සම්පත් තිබෙන අවස්ථාවේ එම සම්පත් පාවිච්චි කරන්න ඕන. ලංකාවෙත් පොස්පෙට් , ග්‍රැෆීන් , ග්‍රැෆයින් පිළිබඳ පර්යේෂණ සිදුකරලා තිබෙනවා. මේ සම්පත් යොදාගෙන රටේ සියලු ජනතාවට ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහනක් සමගි ජනබලවේග රජයක් තුළින් දියත් කරනවා. ඒ වගේම රටක් ගොඩනැගීමේදී දැනුවත් භාවයකින් යුක්තව රටක් ගොඩනැගිය යුතුයි. ඒ වගේම රටක් ගොඩනැගිමට දර්ශනයක් , සැලැස්මක් තිබිය යුතුයි. ඒ වගේම උපක්‍රම තිබිය යුතුයි. ඒ වගේම රටට විදේශ ආයෝජන ගෙන ඒම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයට වැඩපිළි‍වෙළක් තිබෙනවා.

රටේ සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සමාජ ආරක්ෂණය අවශ්‍යයි. ඒ වගේම සමාජ ආරක්ෂණය ගැබිණි මව්වරුන්ට සහ දරුවන්ට ලබාදිය යුතුයි ඒ හරහා මන්දපෝෂණය සම්පුර්ණයෙන්ම නැති කළ යුතුයි. මන්දපෝෂණය තුරන් කිරිම අධ්‍යාපනයට අත්‍යාවශ්‍ය කාරණයක්. මේ කොටස් හැමදාම ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම මධ්‍යම වයසේ සිටින පිරිසටත් ආරක්ෂාවක් ලබාදිය යුතුයි. ඔවුන්ව ගොඩ ගැනීමට සමෘද්ධිය අස්වැසුම වගේ බොරු දේශපාලන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම නතර කළ යුතුයි. ඔවුන්ව ආරක්ෂා කරන්නේ රජයෙන් යැපෙන සමාජයක් නිර්මාණය කරන්න නෙවෙයි. ඔවුන්ව වෙළඳපොලට එකතු කිරිමට කටයුතු කළ යුතුයි. ඔවුන්ව ව්‍යවසායකයන් කරන්න ඔවුන්ගේ අනාගතය නිර්මාණය කර ගන්න රජය ඔවුන්ට ශක්තියක් විය යුතුයි. මේ ආකාරයට තමයි සමගි ජනබලවේගය සමාජ ආරක්ෂණය සිදුකරන්නේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශ්‍රාම ලැබුවාහම ඔවුන්ට තිබෙන එකම ඉතිරි වන්නේ සේවක අර්ථ සාධක අරමුදලේ තිබෙන මුදල් ප්‍රමාණය. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ජිවිතයේ ඉතිරි කාලය ජිවත් වෙන්න තිබෙන එකම ඉතිරිය වන්නෙත් සේවක අර්ථ සාධක අරමුදල. මේ වනවිට සේවක අර්ථ සාධක අරමුදලෙන් රජය මුදල් සොරකම් කරලා තිබෙන්නේ. පසුගිය අවුරුද්දේ සේවක අර්ථ සාධක අරමුදලෙන් සියයට 9 ක ප්‍රතිලාභයක් ලබාදුන්නා. ඒ වගේම මහ බැංකුවේ වැඩකරන පිරිසට සේවක අර්ථ සාධක අරමුදලෙන් සියයට 29 ප්‍රතිලාභ ලැබිලා තිබෙනවා.

සේවක අර්ථ සාධක අරමුදල කළමනාකරණය කිරිමට ස්වාධීන එ්කකයක් හදන්න ඕන කියලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කරලා තිබෙනවා. එසේ සිදුකිරිමෙන් කිසිදු ගැටුමක් ඇතිවෙන්නේ නැති බවත් ඔවුන් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම මහ බැංකු බැදුම්කර වංචාවේදීත් සේවක අර්ථ සාධක අරමුදලට විශාල පහරක් වැදුණු බව සඳහන් වුණා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරිමේදීත් සේවක අර්ථ සාධක අරමුදලට වැඩි පීඩනයක් එල්ල වුණා. සේවක අර්ථ සාධක අරමුදලට මුදල් බැර කරන පිරිසගේ ප්‍රතිලාභ ආරක්ෂා කළ යුතුයි. සමගි ජනබලවේග රජයක් තුළින් එය ක්‍රියාත්මක කරනවා. වැඩකරන ජනතාවගේ අයිතිවාසිකමක් වන සේවක අර්ථ සාධක අරමුදල ආරක්ෂා කළ යුතුයි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලැබුණ මුදල බැංකුවක තැන්පත් කරලා ලැබෙන පොලිසියෙන් තමයි ජිවත් වෙන්නේ. ඔවුන් රජයෙන් යැපෙන්නේ නෑ. ඔවුන් ඉතිරිකරගත් මුදල භාවිතා කරලා තමයි ජිවත් වෙන්නේ. ඔවුන්ට ලැබෙන පොලි ප්‍රතිශතය පිළිබඳව ද සොයා බැලිය යුතුයි. ඒ වගේම සේවක අර්ථ සාධක අරමුදලක් නොමැති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දීමනාවක් හරහා ඔවුන්ව ආරක්ෂා කිරිමේ වැඩපිළිවෙළක් දියත් කරන්න සමගි ජනබලවේග රජයක් යටතේ කටයුතු කරනවා”