සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබංඩාර මහතා නිකුත් කල මාධ්‍ය නිවේදනය.

රට පුරා ගෑස් කාන්දුවිම් ආශ්‍රිතව වූ පිපිරිම් සංඛ්‍යව දිනෙන් දිනම ඉහළ යමින් පවතී. මේ වන විට සිදුව ඇති පිපිරිම් සංඛ්‍යව තිහකට වැඩි බව වාර්තා වේ.

මෙම පිපිරිම් තුළ රටේ ජනතාවගේ ජීවිත බරපතල ලෙස අනතුරට ලක්ව ඇත. එසේ තිබියදි ආණ්ඩුව සුපුරුදු පරිදි ගැටළුව වෙනත් මානයකට රැගෙන යාමට උත්සාහ දැරිම අතිශය කණගාටුදායකය. පුපුරන්නේ ගෑස් ටැංකි නොවන බවත් රෙගියුලේටර, ගෑස්බට ලිප් මත වැරදි පවරමින් වගකිවයුතු අමාත්‍යවරු උත්සාහ දරනුයේ කවුරුන් ආරක්ෂා කිරිමටද යන්න අප ප්‍රශ්න කරමු.

පසුගියදා ලිට්ට්‍රෝ සමාගමේ සභාපති වරයා පැවසුවේ ඉතා අවාසිදායක ගිවිසුමක් අත්සන් කොට ගෑස් ලබා ගැනිම නිසා විශාල ගැටලුවක් ඇති වු බවයි. එම ගිවිසුම හරහා පැහැදිලිවම වංචාවක් සිදුව තිබේ. ඒ පිළිබදව මාධ්‍ය හමුවක් පවත්වමින් ලිට්ට්‍රෝ සභාපතිවරයා කිවේ අවම වශයෙන් රුපියල් බිලියන 10 ක පමණ පාඩුවක් සමාගමට සිදුව ඇති බවත් එය කාගේ හෝ සාක්කුවකට වැටි ඇති බවත්ය.

මේ මොහොතේ ගෑස් සිලින්ඩරයේ ධාරිතාව වෙනස් කරමින් ජනතාව අනතුරට හෙලනුයේ මෙම වංචාව තුල සිදුව ඇති පාඩුව පියවා ගැනිමටද යන්න පිළිබදව සාධරන සැකයක් ජනිත වේ. එමෙන්ම ගැස් සිලින්ඩරයේ ධාරිතාව වෙනස් කරමින් මෙයට පෙර වෙළදපලට සිලින්ඩරයක් නිකුත් කරමින් ගැස් සංයුතිය වෙනස් කල බවද නොරහසකි. ගෑස් ආශ්‍රිත පිපිරිම් සම්බන්ධයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතා නිරික්ෂණ වාර්තාවක් පාරිභෝගික කටයුතු අධිකාරියට ලබා දි ඇතැයි මාධ්‍ය වර්තා කොට තිබේ.එය ජනතාවට දැන ගැනිමට ප්‍රසිද්ධ කරද නොමැත.

සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායමක් ප්‍රමිති ආයතනයෙන් කළ විමසුමට මේවන තෙක් පිළිතුරක් හෝ ලබා දි නොමැත. ගෑස් පිළිබදව පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ කරන විට අමාත්‍යවරුන් සභාවේ නොසිටිම ගැන කනස්සල්ල පලකලේද ගරු කතානායකතුමාම වේ.

ජනාධිපතිතුමා පෙර පරිදිම මේ පිළිබදව සෙවිමට යැයි පවසා විශාල කමිටුවක් පත්කර ඇත. මේ වන කටයුතු සැබවින්ම ගැටලුව යටපත් කිරිමට දරන උත්සාහය මිස අනෙකක් නොවේ. ඒ තුළ සංයුතිය වෙනස් කළ ගෑස් ටැංකි පුපුරා හෝ අවසන්ව යනු ඇත. ප්‍රශ්නය එලෙස නිමා කිරිම ආණ්ඩුවේ උත්සාහය බව පෙනේ.

මෙම දරුනු වංචාව නොකර ගෑස් පිළිබඳව සිදුවූ වංචනික ක්‍රියාවන් සහ ගෑස් සංයුකිය වෙනස් කොට ජන ජිවිත අනතුරේ හෙලිමට කටයුතු කළ සියල්ලන් නීතිය හමුවට පමුණුවන ලෙසත් පිපිරිම් තුළින් හානි වූ සියලු දෙනාට වහාම වන්දි ගෙවිමට පියවර ගන්නා ලෙසත් සමගි ජන බලවේගය ආණ්ඩුවට බලකොට ඉල්ලා සිටිමු .

රංජිත් මද්දුම බණ්ඩාර,
මහ ලේකම්.