මේ වසංගත සමයේ දී කාන්තා නායකත්වය කෙරෙහි ප්‍රබල අවධානයක් යොමුව තිබේ; ඒ සාධනීය හේතූන් නිසාවෙනි.

කොවිඩ් පැතිරීම ඇරඹුණු මුල් අවධියේම නවසීලන්තයේ ජසින්ඩා ආඩන්, තායිවානයේ සායි ඉන්-වෙන්, හා බංග්ලාදේශයේ ෂෙයික් හසීනා වැනි රාජ්‍ය නායිකාවෝ, වසංගතය ආරම්භයේදීම ඊට එරෙහි පියවර ගැනීම සහ තවදුරටත් පැතිරීම අඩාල කිරීම සම්බන්ධයෙන් පැසසුම් ලැබුවෝ ය.

කෙසේ නමුත්, ස්ත්‍රීපුරුෂභාවය සහ සෞඛ්‍ය ප්‍රතිපත්තීන්හි ඵලයන් අතර සම්බන්ධය මෙතෙක් පැවතියේ හුදෙක් පුද්ගලානුබද්ධ මතයක් ලෙස පමණි.

බ්‍රසීලයේ දී සිදුකෙරුණු නව අධ්‍යයනයකින් ඉඟි කරන ආකාරයට, පුරුෂයෙකුගේ නායකත්වයට සාපේක්ෂව කාන්තාවක් ඉහළම පුටුවේ සිටීම වසංගත සමයක දී වැඩි ජීවිත ගණනක් බේරා දිය හැකිය.

එරට කාන්තා දේශපාලනඥයින් පාලනය කළ නගරවලින් වාර්තා වූ කොවිඩ් මරණ ප්‍රතිශතය පිරිමි දේශපාලනඥයින් විසින් පාලනය කෙරුණු නගරවලට සාපේක්ෂව 43%කිනුත්, කෝවිඩ් නිසා සිදුවූ රෝහල්ගත කිරීම් 30%කිනුත් පහළ බව පර්යේෂකයෝ සොයාගත්හ.

ඔවුන් පවසන්නේ, මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම, ජනයා එක්රොක්වීම තහනම් කිරීම වැනි සායනික නොවන ක්‍රියාමාර්ගයන් බලාත්මක කිරීමට කාන්තාවන් වැඩි නැඹුරුවක් දැක්වීම මඟින් මෙම සංසිද්ධිය පැහැදිලි කළ හැකි බවය.

“අපගේ මේ සොයාගැනීම්, ගෝලීය ප්‍රතිපත්තිමය ගැටලුවක් සම්බන්ධයෙන් කටයුතු කරද්දී කාන්තා දේශපාලනඥයින් සිය පුරුෂ පාර්ශවය අභිබවා යන බවට විශ්වසනීය සාක්ෂි සපයන්නේයැ”යි පර්යේෂකයෝ පවසති.

“අපගේ පර්යේෂණ ප්‍රතිඵලවලින්, ජනප්‍රියත්වය සොයනා නායකයින් ජාතික මට්ටමෙන් ගන්නා වැරදි ප්‍රතිපත්ති නිශ්ප්‍රභ කිරීමෙහිලා ප්‍රාදේශීය නායකයින්ට ඉටුකළ හැකි කාර්යයභාරය ද පෙන්නුම් කරයි.”

පර්යේෂකයෝ, 2016 බ්‍රසීල මැතිවරණයේ දී එරට නගර සභා බලප්‍රදේශයන් පන්දහස් පන්සියයෙන් පුරුෂයෙකු හා ස්ත්‍රියක අතර දැඩි අවසන් තරගයක් දක්නට ලැබුණු නගර හත්සියයකට පමණක් සිය අධ්‍යයනය සීමා කළහ.

මැතිවරණය එක් වාරයකින්ම පැවැත්වූ නගර පමණක් මෙහිදී තෝරාගත් හෙයින් අධ්‍යයනයට අයත්වූයේ ජනගහනය දෙලක්ෂයට අඩු නගර පමණි.

පර්යේෂකයින්ට අවශ්‍ය වූයේ, මේ නීතිරීති පිළිපදිමින් හැකිතාක් දුරට “අහඹු” පරීක්ෂණයක් නිර්මාණය කිරීමට ය.

balavegaya 119515583 36c13adb 3cf7 406f b389 0cfe797f7f9b
බ්‍රසීලයේ කාන්තා දේශපාලනඥයින් පාලනය කළ නගරවලින් වාර්තා වූ කොවිඩ් මරණ ප්‍රතිශතය පිරිමි දේශපාලනඥයින් විසින් පාලනය කෙරුණු නගරවලට සාපේක්ෂව 43%කිනුත්, කෝවිඩ් නිසා සිදුවූ රෝහල්ගත කිරීම් 30%කිනුත් පහළ බව හෙළි විය

අවසානයේ ඔවුහු කාන්තාවක හෝ පුරුෂයෙකු නායකත්වයට පත්වීමේ සම්භාවිතාව සමාන වන, එකිනෙක සංසන්දනය කළ හැකි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර සමූහයක් පර්යේෂණය සඳහා තෝරාගත්හ.

නිල දත්තවලට අනුව, පිරිමින් පාලනය කළ නගරවලට සාපේක්ෂව කාන්තාවන් විසින් පාලනය කෙරුණු නගරවල කෝවිඩ් මරණ වාර්තා වූයේ වැසියන් 100 000කට 43.7%ක් අඩුවෙන් බව පර්යේෂකයෝ නිරීක්ෂණය කළහ.

එම නගරවල රෝහල්ගත කිරීම් සංඛ්‍යාව ද 30%කින් පහළ විය.