රාජපක්ෂ ඇතුළු දූෂිත කල්ලිය විසින් දිව්‍ය ලෝකයක් වූ අපේ රට අපායක් බවට පරිවර්තනය කළ බවත් කුමන්ත්‍රණ වලින් තොරව වහාම ඡන්දයක් පැවැත්විය යුතු බවත් විපක්ෂනායක වරයා පැවසීය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දිව්‍ය ලෝකයක් වූ අපේ රට අපායක් බවට පරිවර්තනය කළ පොහොට්ටු ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පිහිටෙන් නැවතත් නැගිටීමට උත්සාහ කරන බවත් රට විනාශ කළ රාජපක්ෂවරුන්ට නැවත දේශපාලන බලය ලබා ගැනීමට ලැජ්ජා නැද්ද කියා තමන් අසන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එළඹෙන මැතිවරණයක දී රට විනාශ කළ රාජපක්ෂ පවුලට සහ පොහොට්ටුවට මතක හිටින පිළිතුරක් ලබා දීමට ජනතාව සූදානම් බව පැවසීය. විවිධ කොමිෂන් සභා පත්කර මැතිවරණය කල් දැමීමට උත්සාහ කළත් ජනතාව ඉල්ලා සිටින්නේ මැතිවරණයක් බවත් එම නිසා එම සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලා සිටින්නේ ඔබ හොඳ සමාජවාදියකු නම් මැතිවරණ කල් නොදමා වහාම මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් ආණ්ඩුවේ මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණයේ කොටස් කරුවකු නොවන ලෙසට ඉල්ලා සිටින බවත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (7) නොච්චියාගම ආසන බලමණ්ඩලයේ පැවැති රැස්වීමක් ඇමතූ අවස්ථාවේ ය.

එසේ ම වසර 11ක් කන්න 22ක් වී ගොවිතැන පිළිබඳ බතලේගොඩ පර්යේෂණ ආයතනය විසින් පර්යේෂණයක් සිදු කර ලබා ගත් තොරතුරු අනුව වී ගොවිතැනට කාබනික පොහොරම යොදා ගත හොත් වී ගොවිතැනේ අස්වැන්න සියයට 21.5 සිට 31 දක්වා අඩු වන බවට අනාවරණය වූ බවත් ඊට අමතරව වී අස්වැන්න උපරිම තලයට ගත හැකි ක්‍රමවේදය වන්නේ රසායනික සහ කාබනික පොහොරවල සම්මිශ්‍රණයෙන් වී ගොවිතැන සිදු කිරීම බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සියලු දත්ත අනාවරණය කර ගන්නා ලද්දේ දේශපාලනඥයන් නොව මෙරට සිටින විද්‍යාඥයන් බව යි.

එසේ වුවත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් මේ වාර්තා ගණන් නොගෙන හිතුමතේට ගන්නා තීන්දු තීරණයක් නිසා වී ගොවිතැන, හේන් ගොවිතැන, පළතුරු වගාව ආදී සියලු වගාවන්ට ලබා දුන් පොහොර ආදිය තහනම් කළ බවත් මේ තුළින් කෘෂිකර්මයේ නියැලී සිටි ගොවි ජනතාවගේ ජීවිත විනාශ වූ බවත් ඒ නිසා පහුගිය මාස් කන්නයේ අස්වැන්න සියයට 50කින් පහළ ගිය බවත් පැවසීය.

එසේ ම වත්මන් ජනාධිපතිවරයා පවසන ආකාරයට රුපියල් 10000කට ලබා ගත හැකි පොහොර උපරිමයෙන් තිබුණත් එය ප්‍රවෘත්ති නිවේදනයකට හෝ ජනාධිපතිවරයාගේ කතාවකට පමණක් සීමා වී ඇති බවත් එය මහපොළවේ යථාර්ථය සමඟ නොගැටෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ නිසා අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් පැවැති රට පොහොට්ටුව විසින් බංකොළොත් භාවයට පත් කළ බව යි.

එවැනි හානියක් සිදු කළ පක්ෂය සහ රාජපක්ෂලා රකින තත්ත්වයට වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා පත් වී ඇති බවත් මේ ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කරන බවත් ඒ නිසා වහාම මැතිවරණයක් අවශ්‍ය බවත් පැවසු විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනතාවගේ එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් විපක්ෂය ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව යි.