රටේ අනාගතය වෙනුවෙන් ආණ්ඩුවට ප්‍රශ්න හයක්.

අද පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් (ස්ථාවර නියෝග 27(2) යටතේ අසනු ලැබූ ප්‍රශ්නය.) ආණ්ඩුවෙන් අසනුලබන ප්‍රශ්න.

දිනෙන් දින වාර්තා වන ළමා අපයෝජන සිද්ධීන් වල වැඩිවීම මෙරට ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව අපට පෙන්වා දේ. එසේම, එක්සත් ජාතීන්ගේ ළමා අයිතීන් කමිටුව (UNCRC)  විසින් ද මෙරට ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් රතු එළියක් නිකුත් කර ඇති බව වාර්තා වේ. මේ නිසා මෙරට දරුවන් ළමා හිංසනය ඇතුළු සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උදා කරදීම සඳහා රජය සියලු පාර්ශවයන් සමග එක්ව කටයුතු කළ යුතුව තිබේ. 

ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි. 

  1. පසුගිය වසර 10ක කාල සීමාව තුළ දී වයස අවුරුදු 18ට අඩු දරුවන්ට එරෙහිව සිදු වූ ලිංගික අපයෝජන, ලිංගික බලහත්කාරකම්, කෲරත්වයට භාජනය වීම් වැනි චෝදනාවන් සම්බන්ධයෙන් කොපමණ පැමිණිලි සංඛ්‍යාවක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ ද? එම පැමිණිලි සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ක්‍රියාත්මක වී ඇති ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක්, විශේෂයෙන් ලබා ගෙන ඇති දණ්ඩ විනිශ්චයන් සම්බන්ධ තොරතුරු මෙම ගරු සභාවට ඉදිරිපත් කළ හැකි ද? ළමා අපයෝජනයන් සිදු කරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීමේ දී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙල/ක්‍රියාදාමය පිළිබඳව රජය සෑහිමකට පත් වන්නේ ද? 
  2. ළමා අපයෝජන වැළැක්වීම සහ එවැනි අපයෝජන වලට ගොදුරු වූ ළමයින් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිණිස ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කාර්යය සඳහා විධිවිධාන 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත මගින් සලස්වා තිබේ. එම නීතිමය පදනම මත පිහිටුවා සකස් කළ ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියක් පවතී ද? එසේනම්, ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන්නේ මන් ද? 
  3. ළමා හා යුක්ති ප්‍රතිසංස්කරණය සඳහා වූ පනත් කෙටුම්පතක් (Child & Justice Reform bill) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කටයුතු සම්පාදනය කෙරිණි. එසේනම්, එහි ප්‍රගතිය කවරේ ද? එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ කවදා වනවිට ද? 
  4. 2021 පෙබරවාරි මස ළමුන්ට ශාරීරිකව දඬුවම් පමුණුවීම නතර කිරීමට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී තිබේ (SC Case No: SC/FR/97/2017). ළමා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සඳහා මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රමාණවත් තරම් අන්තර්ග්‍රහණය කර ගැනීමට රජය කටයුතු සිදු කර තිබේ ද? තව ද එක්සත් ජාතීන්ගේ ළමා අයිතීන් කමිටුව (UNCRC) විසින් නිර්දේශ කර ඇති පරිදි දණ්ඩ නීති සංග්‍රහයේ 82, 341(i), සහ 308(A) යන වගන්ති සංශෝධනය කිරීමට රජය පියවර ගන්නේ ද? 
  5. වින්දිත දරුවන් කිහිප දෙනෙකුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සම්බන්ධයෙන් චූදිතයෙකු වූ පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තුමේන්තුවේ නිළධාරියා නැවතත් එම කාර්යාංශයේ ම රාජකාරී කටයුතු සඳහා පත් කෙරුණු බවට තොරතුරු වාර්තා වේ. මෙය සත්‍යයක් ද?  එසේනම්, එම පත්වීම සාධාරණීකරණය කරනු ලබන්නේ කුමන පදනමින් ද? 
  6. ජාත්‍යන්තර පාසල්වල ළමා අපයෝජනයක් සිදු වුවහොත් රජයෙන් හෝ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කිසිදු ආරක්ෂණයක් නොලැබෙන බව වාර්තා වේ. මෙය සත්‍යයක් ද? මෙම පාසල්වල ද අධ්‍යාපනය ලබන්නේ අප රටේම දරුවන් බැවින් අධ්‍යාපන අමාත්‍යාංශයේ විධිමත් නියාමනයකට මෙම පාසල් යටත් නොකරන්නේ මන් ද? 

සජිත් ප්‍රේමදාස (පා.ම.)

විපක්ෂ නායක