ගාසා තීරයේ ගැටුම් පිළිබඳව කනස්සල්ල පළකරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres ප්‍රකාශ කර ඇත්තේ ගාසා  තීරය මේ වන විට “ළමා සොහොන් පිටියක් බවට පත්වෙමින් තිබේ” යන්නයි

United Nations Secretary-General

දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටින ජගත් සංවිධාන මහ ලේකම්වරයා ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ද සටන් විරාමයක් ඉල්ලා සිටි අතර, අනතුරු අඟවමින් කියා සිටියේ ගාසා තීරයේ තත්ත්වය “මානුෂීය අර්බුදයකට වඩා, එය මනුෂ්‍යත්වයේ අර්බුදයක්” බවයි.

ගාසාවේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව ඊශ්‍රායලයේ ප්‍රහාර හමුවේ ළමයින් 4,000 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළුව මේ වනවිට 10,000 ඉක්මවූ පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් වසර ගණනාවක් පුරා පවතින මැදපෙරදිග අර්බුදයේ උත්සන්නම තත්වයට මේ වන විට පත්ව ඇති බවත් මෙම අර්බුදය ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බවත් දැකගත හැකි බවයි ලෝකයේ විවිධ දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ.

ඊශ්‍රායලය ගාසා තීරයට නොනවත්වා එල්ල කරන ම්ලේච්ඡ ප්‍රති ප්‍රහාර වලට එරෙහිව පසුගිය දා යේමනයේ “හූති” සටන්කාමීන් විසින් නිල වශයෙන් යුද්ධයට සම්බන්ධ වූ අතර මෙම යුද්ධය ආරම්භ වී ප්‍රථම වරට ලෝකය ආමන්ත්‍රණය කල ලෙබනනයේ හිස්බුල්ලාහි මහලේකම් ෂෙයික් හසන් නස්රල්ලා කියා සිටියේ ඔක්තෝම්බර් 7 වන දින පළමු ප්‍රහාරයේ සිටම තම සංවිධානය සටනට අවතීරණ වී සිටින බවත් වසර ගණනාවක් ඊශ්‍රායලයේ තාඩන පීඩන වලට ලක්ව සිටින පලස්තීනයේ ඔක්තෝම්බර් 7 ප්‍රහාරය හමස් සංවිධානයේ වීර ක්‍රියාවක් ලෙස සලකන බවත්ය.

Hezbollah chief Nasrallah

ඔක්තෝම්බර් 7 ප්‍රහාරය එල්ල වී සතියක් යන්නටත් පෙර ඇමෙරිකාව විසින් යුධ ආදාර රැසක් ඊශ්‍රායලයට ප්‍රධානය කල අතර ඉරාන ආරක්ෂක අමාත්‍ය මොහොමඩ් රෙසා අශ්තියානි ප්‍රකාශ කර තිබෙන්නේ ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක නොවුණහොත් ඇමරිකාවට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවයි.

Iran’s Defense Minister

ඉරාන ජාතික පුවත් සේවය වාර්තා කළ පරිදි ඔහු සඳහන් කළ ඇත්තේ ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීමට කටයුතු නොකළහොත් ඇමරිකාවට ද දරුණු පහරක් එල්ල විය හැකි බවයි.

ගාසා තීරයේ සිවිල් වැසියන් වෙත ඊශ්‍රායලය විසින් එල්ල කෙරෙන ප්‍රහාර දිරිමත් කරන බවට ඉරානය ඇමරිකාව වෙත චෝදනා කරනවා.

ඉරාන විදේශ අමාත්‍යංශය සඳහන් කර තිබුණේ ඇමරිකාවේ සම්පූර්ණ සහය සහිතව ඊශ්‍රායලය යුධ අපරාධ සහ ජන සංහාරයන් සිදුකරන බවයි.

ඇමරිකා එක්සත් ජනපදය ගාසා තීරයේ සටන් විරාමයක් ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටීමෙන් වැළකී සිටින අතර ඒ වෙනුවට මානුෂීය විරාමයක් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාවගේ ජිවිත අවදානමේ හෙලමින් විදේශ බලවතුන්ගේ මෙම බලකාමී ක්‍රියාකලාපයන් හෙළාදකින අතර, මෙම යුධ ගිනිදැල් නිවී ලෝකයට නොනවතින සාමය උදා වේ යැයි අප ප්‍රර්ථනා කරමු !