මෙරට විශ්‍රාමිකයන්ගේ වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණි කවිරත්න මන්ත්‍රිවරිය අගමැතිවරයා වෙත යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය පාර්ශ්වය නියෝජනය කරන අශෝක ප්‍රියන්ත ඇමතිවරයා ලබා දුන් අශෝභන ප්‍රකාශය තරයේ හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (8) පාර්ලිමේන්තුවේ දි පැවසීය.

‘රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය සතුටු කරන්නේ කොහොමද මට එය තේරෙන්නෑ’ බවට අශෝක ප්‍රියන්ත ඇමතිවරයා පවසන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කොක්හඬලා සිනා සුන බවත් එසේම ‘රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය සතුටු කරන්න වෙන විදිහකට වෙන කවුරුහරි ඉන්නවා නම් ඒක කරගන්න පුළුවන්’ යැයි පැවසීම අශෝභන වල් කතාවක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සභාගර්භයේ කාන්තා නියෝජනත්වය සියයට 5ක් වුවත් එය රටේ සියයට 52ක් බව අමතක නොකරන ලෙසත් එබැවින් මෙවැනි අශෝභන ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් අදාළ ඇමතිවරයා ලැජ්ඡා විය යුතු බවත් රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය අගමැතිවරයාගෙන් අහපු ප්‍රශ්නයට එතුමා උත්තරය ලබා දීම විමධ්‍යගත කිරීම නිසා මේ සම්බන්ධ වගකීමක් අගමැතිවරයාටත් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද බ්‍රාහ්මනයෙක්ද වසලයෙක්ද කියා තීරණය වෙන්නේ උප්පත්තියෙන් නොව ක්‍රියාවෙන් බැවින් මේ ඇමතිවරයා තමන් බ්‍රාහ්මනයෙක් ද වසලයෙක් ද කියා මේ සභාවටත් රටටත් ඔප්පු කර පෙන්වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.