දෙයක් කරන්නට අවශ්‍යයනම් එය කිරීම රාජපක්ෂ ක්‍රමයයි. එහි වැරදි – නිවැරදිකම හෝ යුක්තිගරුක ද අයුක්ති සහගත ද යන්න ඔවුන්ට අදාළ වන්නේ නැත. ක්‍රීඩා කේෂ්ත්‍රය ගත් විටද මේ තත්ත්වය එබඳුය.පළමු පෙළ ක්‍රිකට් ගසන්නට චිචීට ආසාව ආවාම ඊට පෙර සිට පළ වූ වාර්තා විවේචන ඔවුන් පයිසෙකට මායිම් කළේ නැත. ඔහු කළුතරින් පිටියට බැස්සේය. පාසල් පළමු පෙළ ක්‍රීඩා කර කණ්ඩායමකට පිවිසෙන්නට නොහැකිව විශාල පිරිසක් ඉන්න රටක, පාසල් කණ්ඩායම නියෝජනය නොකරපු චිචී පළමු පෙළ ක්‍රීඩා කරා පමණක් නොව ඒ නිසා ක්‍රිකට් නිලවරණයකට ඉදිරිපත්වීමේ සුදුසුකම ද සපුරාගෙන ඇත. දැන් දඹුල්ල කණ්ඩායමට ක්‍රීඩා කරන බවට පැතිරෙන රාවය ඔහු ප්‍රතික්ෂේප කර ඇතත් අවසානයේදී එල්.පී.එල් තරඟයක ඔහු ක්‍රීඩා කළහොත් පුදුම වන්නට දෙයක් නැත. රට ඔවුන්ගේය. ඔවුන් කරන දේ හැටියට රටට ලැබෙන දේ අන් සියල්ල පිළිගත යුතුය.
මේ තත්ත්වය මෑතක පැවති මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය සහ මේ සටහන තැබෙන තත්පරයේදීත් ක්‍රියාත්මක වන සෝබර්ස් – තිසේරා කොදෙව් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරග හරහා ද පැහැදිළි විය.

මහින්ද රාජපක්ෂ පාපන්දු සැණකෙළිය සම්බන්ධයෙන් ගත් විට කලකට පසුව ජාත්‍යන්තර තරගාවලියක් සංවිධානය වීම අගය කළ යුතුය. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ද මෑත කාලීනව වියැකී තිබූ ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ ජයග්‍රාහී බලාපොරොත්තු නැවත ඇති කර ගැනීමට හැකි බව පෙන්නුම් කළේය. එය අගය කළ යුතුය. පාපන්දු තරගය එනකම්ම විපක්ෂ රැලි ගැන, අයිතිවාසිකම් සම්බන්ධ උද්ඝෝෂණ ගැන කොඩිඩ් පොකුරු පිපෙන තැන් හැටියට හඳුන්වා දුන් රජය රීඩ් ඇවනිව් එකේ පාපන්දු බලන්න දොරටු විවර කළේය. එය රජය නොදැන කළ දෙයක් විය නොහැකිය. රටේ අග්‍රාමාත්‍යවරයාගේ නමින් ක්‍රියාත්මක පාපන්දු තරගාවලියක්ය. එහි ප්‍රධාන වැඩ කටයුතු පැවරී තිබුණ දේශපාලන නායකයා අග්‍රාමාත්‍යවරයාගේ පුතාය. ඒ පුතාගේ බාප්පා ජනාධිපතිය.

තව දුරටත් එම කරුණ සළකා බලන්නේනම් අවසාන තරගයට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆින්ටිනෝ ද සහභාගි විය. ඔහු සිංහ කොඩියද කටේ ගහගෙන ජනාධිපතිතුමා ළඟටම ගියේය. ජනාධිපතිතුමා ළඟට නොගොස් රට තොටේ ඇවිද්දේනම් මොන ලොක්කා වුණත් අනිත් පැත්තට ආ රටට හැරී යන ලෙස කියන ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින දේශප්‍රේමි කිසිවෙක්ට ජියානි මුලිච්චි වූයේ නැත. ඔහු ජනාධිපතිවරයා සමඟ ඒ කොඩියෙන් කට වසාගෙන සිටීම ජනාධිපතිවරයා අවුලක් කර ගත්තේද නැත. මෙවැනි දේ ගැන කළබල වූ උදවිය ඒ ගැන වැඩිපුර සිතන්නට අවශ්‍යය නැත.”සිංහල බෞද්ධ පමණක් වූ වීරයා” ඡන්දයකදී නැවත පැමිණ,කොත්තු රොටියේ සිට යට ඇඳුම දක්වා වඳ කරන්නත්, නැව් සුක්කානම පවා ධර්ම චක්‍රයක් කරන්නත් උපදෙස් සපයනවා ඇත.

කෙසේ හෝ රජය කියන “පිරිස් රැස්වීම” අදාළවන්නේ රජයේ නොවන රැස්වීම්වලට බව රීඩ් පිටියේ තරඟය පැහැදිළි කළේය. රජයට හෝ විශේෂයෙන් රාජපක්ෂලාට අදාළ නොවන,ඔවුන් නිති පනවන්නන් පමණක් වන සහ ඔවුන්ට නීතිමය තත්ත්වයන් නොසළකා හරින්නට බලය ඇති බව කිසිඳු වහං වීමකින් තොරව පෙන්නයි. ඒ දේශපාන සදාචාරය හෝ මිනිසුන් තුළ තිබිය යුතු ලැජ්ජාව වැනි කාරණාවත් ඔවුන්ට අදාළ නොවෙන්නේ ඔවුන් දැඩිව මේ තමන්ට ඕන දේ කරන්නට ලැබුණු ජන වරමක් ලෙස විශාල ජනතා කැමත්ත හඳුනාගෙන සිටින බැවින්ය.

ඊළඟට ක්‍රිකට් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ගාල්ලට එන්නේ දෙරට අතර පැවත්වෙන ටෙස්ට් තරඟාවලිය වෙනුවෙන්ය. එය නම් කර ඇත්තේ කොදෙව් දේශයෙන් පහළ වූ ලොව විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස පිළිගැනෙන ගාෆිල්ඩ් සෝබර්ස් සහ ශ්‍රී ලංකාව බිහි කළ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන මයිකල් තිසේරා නමින්ය. හැබැයි පාර්ලිමේන්තුවේ විපක්ෂය විමසා බලන තුරු එම තරගය නරඹන්නට ක්‍රිකට් ලෝලීන්ට අවස්ථාව හිමි වුණේ නැත.

ක්‍රිකට් ක්‍රීඩාවේ දැවන්තයන් දෙදෙනෙක් වන තිසේරා සෝබර්ස් යුගලය වෙනුවෙන් පවත්වන ලෝක ටෙස්ට් තරඟාවලියට අදාළ වන තරගයකට වැටුණු සෞඛ්‍යමය නිර්දේශ රීඩ් පිටියට නාවේ එම තරගාවලියේ කුසලානය මහින්ද රාජපක්ෂ වූ බැවිනි. සෞඛ්‍ය නිර්දේශ ගැන,ඇති නොවුණු ගුරු පොකුරු සහ උද්ඝෝෂන පොකුරු පිළිබඳව බිල්ලො මවමින්,වෘත්තීය අයිතිවාසිකම් සහ පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ රජයට එල්ල වන විරෝධයට සෞඛ්‍ය නිර්දේශවලින් බැට දෙන්න මාධ්‍ය ඉදිරියේ ඉදගන්න වෛද්‍යවරු වැනි සුවිශේෂ චරිත කොදු බිඳ එතැන් හී තබන බව පැහැදිළි වන්නේ රීඩ් ඇවනිව් වැනි තැන් ගැනත්,ජනාධිපති,අගමැති ඇතුළු පිරිස එක්ව පවත්වන පිංකමේ සිට සියළු දේත් මේ දොස්තර මහත්තුරුන්ගේ විවේචනයට හසු නොවීමය.

කෙසේ හෝ මහින්ද රාජපක්ෂ පාපන්දු තරගාවලියේ දි මතු වූ ක්‍රීඩක දක්ෂතා ගැන සරලවම කිව හැකි වචනය “මරු” ය. වසීම් රාසික් ඒ අතරින් වඩාත් කැපී පෙණුනේය.ශ්‍රී ලංකාවේ පාපන්දුව සම්බන්ධයෙන් බලාපොරොත්තු ඉහළ ගියේය.නාමල් රාජපක්ෂ ඊට මැදිහත් වි කළ දේ නිවැරදිය. එහෙත් ක්‍රීඩාව රටේ පවතින නීතියට පවත්වන්නට තිබිණ. එසේත් නැතිනම් අන් අය රැස් වීම වැරදි වුණාට අපට ඕන දෙයක් කරන්න පුළුවන් කියන දේශපාලන චණ්ඩිකම නොපෙන්නා ඉන්නට තිබිණ. ඒ නිසා ගාල්ලේදී ද වරදට ඉඩ දෙන්නට සිදු විණි. අන්තිමට විවිධ හැදිවලින් බෙදන්න ගියහම නීතිය රකින්න නොවේ කඩන්න අවසර දීමට සිදු වන්නේය. එහෙත් කිව යුත්තනම් මහින්ද රාජපක්ෂ පාපන්දු ජයග්‍රහණයේ නිරීක්ෂණ වගේම ජනතා ජයග්‍රහණයක් ලෙස රාජපක්ෂලා බලයට කැඳවීමට තීරණය කරපු සමාජය කෙතරම් රැවටී ඇද්ද යන්නත් මේවා හරහා ඒත්තු යාමය.

නිෂ්මන් රණසිංහ