සමගි ජනබලවේගය දේශපාලන පක්ෂ ඇතුළු සිවිල් සංවිධාන 100 ක් සමඟ අද (20) අවබෝධතා ගිවිසුමකට එළඹුණි.

දේශපාලන පක්ෂ , වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන ඇතුළු ක්ශ්‍රේත්‍ර ගණනාවක පිරිසක් ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගයේ ජනාධිපති අපෙක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කළහ.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

‘‘ජනතා ආශිර්වාදයෙන් බලය ලබාගන්නවා මිසක බල තන්හාවෙන් , කෑදරකමින් බලය ලබාගැනීම නතර කළ යුතුයි. බලය ලැබෙනවා වගේම බලය අත් හරින්නත් අපි සුදානම් විය යුතුයි. ප්‍රතිපත්තිගරුක දේශපාලනය තුළ අපි ගමනක් යා යුතුයි. බලය ලබාගැනීම ඉහළම ඉලක්කය නෙවෙයි. ජනතාවට රටට සේවාවක් කිරීම තමයි විශිෂ්ඨ රාජ්‍ය පාලනයක ගුණාංගය වන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමූල ඝාතනයකට ලක්ව තිබෙන වර්තමාන තත්ත්වය වෙනස් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන රාජ්‍ය පාලනයක් රාජ්‍ය සේවයක් රටේ බිහි කළ යුතුයි. ඒ වගේම ලුම්පන් ධනවාදය , ගජමිතුරු ධනවාදය අපි අනුමත කරන්නේ නෑ. ඒ වගේම වාමවාදී සමාජවාදී ක්‍රමවේද ලෝකයේ සාර්ථක ඉලක්ක සපුරාගෙනත් නෑ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තමයි රටට සුදුසු වෙන්නේ.‘‘