රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත්, මහනුවර දිස්ත්‍රික්කයේ 120,000 කට වැඩි ප්‍රමාණයකට මේ දක්වා දෙවැනි මාත්‍රාව ලබා දී නොමැති බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

මාස තුනක් තිස්සේ ඔවුන් දෙවැනි මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින බවත් මේ නිසා ඔවුන්ගේ ජීවිත පිළිබඳව දැඩි අවදානමක් මතුව ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

අවස්ථා කිහිපයකදී මෙරටට ස්පුට්නික් එන්නත් මාත්‍රා ලැබුණු අතර ඒවා මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව වෙත ලබාදීමට කටයුතු කළේය. ලැබුණු මාත්‍රාවලින් බහුතරයක් පළමු මාත්‍රාව ලෙස ලබාදීමට කටයුතු කළ අතර මේ නිසා දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා නැවත එන්නත් මෙරටට ලැබෙනතුරු බලා සිටීමට සිදුව තිබෙනවා.

රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව ස්පුට්නික් V පළමු මාත්‍රාව පුද්ගලයන් 159,088 කට ලබා දී ඇති අතර දෙවැනි මාත්‍රාව ලබා දී තිබෙන්නේ පුද්ගලයන් 25,489 කට පමණි. 

මෙම එන්නත් නිෂ්පාදනය කරන රුසියානු සමාගම එන්නත් නිෂ්පාදනය අත්හිටුවා ඇති බවට වාර්තා වන බවත්, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව කඩිනමින් සොයා බැලිය යුතු බවත් කිරිඇල්ල මහතා සඳහන් කරනවා.