මම මේ ළඟදි මගේ මිත්‍රයෙක් ගෙන් ඇහුවා ආණ්ඩුව කොහොමද හොඳ ද කියලා. මිනිහා ගත් කටටම කීවේ මේක හරියට වැටකොළු පතෝල වගේ ආණ්ඩුවක් කියලා. ඒ කියන්නේ ගුණත් නෑ අගුණත් නෑ. හැබැයි ජනතාව නම් මෙහෙම ආණ්ඩුවක් නෙවෙයි බලාපොරොත්තු වුණේ. ජනතාව බලාපොරොත්තු වුණේ මල්වෙඩි වරුෂාවක් වගේ ආණ්ඩුවක්. අනුර කුමාර දිසානායක මහත්තයා පෙට්‍රල් ගොඩබාන මිල සහ විකුණුම් මිල අතර පරතරය වගේම ලාභය ගැන කීවාම මිනිස්සු හිතුවා ඇත්තටම මේ යකා ජනාධිපති උනොත් අපිට ගොඩබාන මිලටම වගේ පෙට්‍රල් දේවි නේද කියලා. මිල සූත්‍රය ඉරලා වීසි කරනවා, ජනතාවට සහන දෙනවා කීවාම, ජනතාව හිතුවා ඇත්තටම මේක කරාවි නේද කියලා.
රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අයිඑම්එෆ් එකත් එක්ක එකතුවෙලා ජනතාව මත පටවලා තිබුණ අසීමිත බදු බරෙන් හෙම්බත්වෙලා හිටිය ජනතාවට අවශ්‍ය උනේ අස්වැසිල්ලක්. උනුත් එකයි මුනුත් එකයි කියලා ආපු අනුර කුමාර සහෝදරයා ජනතාවට පෙනුනේ තමන්ගේ උර මත පටවලා තියෙන අධික බදු බරෙන් තමන්ව නිදහස් කරන්න ආපු හිරෝ කෙනෙක් විදිහට. ඔවුන් හිතුවා අයිඑම්එෆ් එකත් එක්ක සාකච්ඡා කරලා ජනතාවට හිතවත් නව එකඟතාවලියකට අනුර සහෝදරයා යයි කියලා. අයිඑම්එෆ් එකත් එක්ක නැවත සාකච්ඡා කරලා ජනතාවට හිතවත් ආකාරයකට එකඟතා සංශෝධනය කරනවා කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වත් ජනතාව හිතුවේ සජිත් නෙවෙයි අනුර ආවොත් නම් මේක කරයි කියලා.
විදුලි බිල අඩු කරයි, සහල් මිල පාලනය කරයි, වගේ තවත් දහසක් බලාපොරොත්තු එක්ක තමයි ජනතාව අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති පුටුවේ හිඳවන්න කටයුතු කළේ. ඒත් අද ඩඩ්ලි සිරිසේනගේ කරට අත දාගත්ත අනුර කුමාර දිසානායක සහෝදරයට සහල් මිල පාලනය කිරීම අමතක වෙලා ගිහිං. සහල් මිල වැඩි වෙමින් තිබෙනවා. අද ඔවුන් කියන්නේ තමන්ගේ ආණ්ඩුවක් යටතේ ලබන අවුරුද්දේ ඉදලා රජය ගොවියන්ගෙන් වී මිලට අරගෙන සහල් මිල පාලනය කරන්න ඒ අවශ්‍ය වෙලාවට ඒ තොග වෙළඳපොළට නිදහස් කරන්න කටයුතු කරනවා කියලා. එදා අනුරලා ඩඩ්ලිලාව හැඳින්නුවේ සහල් මෝල් හිමියෝ කියලා. අද ඒ මෝල් හිමියෝ සහල් ව්‍යාපාරිකයෝ බවට පත්වෙලා.
ජන අරගලය සහ රාජපක්ෂ විරෝධය එක්ක මිනිස්සු ආර්ථික සහන වලට අමතරව රට නිවැරදි මාවතට ගනීවි කියලත් බලාපොරොත්තු වුණා. විශේෂයෙන් හොරු අල්ලයි කියලා ජනතාව හිතුවා. හොරු නීතිවිරෝධී විදිහට තමන්ගෙන් අත්පත් කරගත් මුදල් නැවත ලබාගන්න පුළුවන් කියලා මාලිමාව කියනකොට ඒක විශ්වාස කරපු ජනතාවක් හිටියා. අද මසක් යනකොට ඔවුන් ඉච්චාබංගත්වයට පත්වෙලා. ඒකයි මම මුලින් කීවේ ජනතාව මල් වෙඩි ආණ්ඩුවක් තමයි බලාපොරොත්තු උනේ කියලා. හොරු අල්ලන්න ආපු ආණ්ඩුව ජොන්ස්ටන්ව අත්අඩංගුවට අරගෙන ඇප මත නිදහස් වෙන්න ඉඩ ඇරියා. දැන් ලොහාන් රත්වත්ත සහ බිරිඳ අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒත් අනුරට ඡන්දය දුන්න සාතිශ්‍ය බහුතරය මීටවඩා හොඳට කරයි කියලා තමයි බලාපොරොත්තු වුණේ. ඒ අද ඒ ජනතාවට මේ ඡන්දයෙන් පස්සට ඒ බලාපොරොත්තු කල් දාගන්න වෙලා.
ඇත්තටම මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ අනුර කුමාර දිසානායක සහෝදරයා ආණ්ඩුවක් හැදුවත් ඔවුන්ට මේ ජනතා බලාපොරොත්තු කන්දට ආමන්ත්රනය කරන්න පුළුවන් වෙයිද? මේ මසක කාලයේ ආණ්ඩුව වැඩ කරන විදිහ බැලුවහම නම් ඒක අනුරට සහ සඟයන්ට ලේසි වෙන්නේ නෑ කියලා තමයි කියන්න වෙන්නේ. මොකද රාජ්‍ය පාලනයේ ආඳුනිකත්වයක් තමයි දැනට අනුරලා රටට පෙන්වමින් සිටින්නේ. කඩාගෙන වැටිලා තිබෙන රටක් නැඟිට්ටවන්න මේ ඉබ්බාමය හැසිරීමට පුළුවන් වෙයිද? වැටකොළු පතෝල ආණ්ඩුවකට ඉක්මනින් මේ ප්‍රපාතයෙන් රට ගොඩගන්න පුළුවන් වෙයිද? අද පුරවැසියා ඉදිරියේ තිබෙන ප්රශ්නය ඒක.
පහුගිය ජනාධිපතිවරණයේ බහුතරයේ ජනමතය අනුරලාට විරුද්ධයි. ඒ ජනමතය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් නිර්මානය කරන්නට තීරණය කළොත් එය මේ මසක කාලයේ ආණ්ඩුවේ මන්දගාමී හැසිරීමට පිළිතුරක් වේවී.
-මේඝ-