ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 13 දෙනාට පාර්ලිමේන්තුවේ කතා කිරීමට කාලය වෙන් නොකිරීම සම්බන්ධයෙන් අන්තර් පාර්ලිමේන්තු සංසදය හා පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංවිධානයේ මහලේකම්වරුන් දැනුවත් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ අනුව ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 13 දෙනාගේ අත්සන් සහිත ලිපි යොමු කරමින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා දැනුම් දුන්නේය.

මන්ත්‍රීවරුන් නිෂ්ශබ්ද කිරීමෙන් කිසිම ප්‍රශ්නයක් විසඳන්න බැහැ. ජනතාවගේ දුක්ගැනවිලි ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කිරීමට අදහස් ප්‍රකාශ කිරීම අවශ්‍යයයි. අද ඇතිවෙලා තියෙන තත්ත්ව තමයි පසුගිය අගෝස්තු 31 වැනිදා සිට චේතනාන්විතව මන්ත්‍රීවරු 13 දෙනාගේ කතා කිරීමේ අයිතිය අහිමි කරලා තියෙනවා. මේ දක්වා දවස් 22ක් මේක පැවතුණා යැයි මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.