මෙලොව ජීවත් වන සෑම පුද්ගලයකුටම හිමි මූලික අයිතිවාසිකම් කීපයක් තිබේ .එය ලෝකයේ දියුණු මානව ප්‍රජාව පිළිගත්තකි .පුද්ගලයෙකුට ජීවත් වීමට ඖෂධ ආහාර ජලය ඇඳුම් පැළදුම් සහ නවාතැන් සඳහා ප්‍රවේශ වීමට හැකියාව තිබිය යුතුය .මෙම මූලික අයිතීන් තහවුරු කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉහත අවශ්‍යතා මූලික අයිතිවාසිකම් අයිතිවාසිකම් වලට ඇතුළත් කිරීමට කටයුතු කළේය .ශ්‍රී ලාංකික ජනතාව මේ මොහොතේ ගත කරන ජීවන රටාව තුළ මෙකී අයිතිවාසිකම් ආරක්ෂා වේ දැයි විමසා බැලිය යුතුය .

සමස්තයක් ලෙස රට වැසියන් ආහාර හිඟයකින් පෙළෙති . ඇතැම් ප්‍රදේශ වල ජනයා ජලය ද නොමැතිව පීඩාවට පත්ව තිබේ .විදුලිය කප්පාදු කර දමා ඇත .සමස්ත මහජන ප්‍රවාහනය ඇතුළු ප්‍රවාහන සේවාවන් කඩාකප්පල් වී ඇත . දහස් ගණන් ජනතාව රැකියා අහිමි වි මහමගට ඇද වැටී ඇත .දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සීමා වී ඇත .ඉන්ධන මිල ගණන් දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇති අතර ඉන්ධන හිඟයක් ද ඇති වී තිබේ .ඉන්ධන ගැටලුව මුල් කරගනිමින් සමස්ත නිෂ්පාදන යන්ත්‍රය ම කඩා වැටෙන තත්වයකට පත්ව ඇත .ලොව පිළිගත් මූලධර්මයන් අනුව මානව හිමිකම් යනු මිනිසෙකුට උපත ලැබීම හේතුවෙන් ලැබිය යුතු අයිතිවාසිකම් සමූහයකි . අද අප සිටින්නේ එවැනි අයිතිවාසිකම් රැකෙන රටකදැයි ප්‍රශ්ණ කළ යුතුය.

ලෝකයටම බලපෑ කෝවිඩ් වසංගත තත්ත්වය ඒ ඒ රටවල ආර්ථිකයට විවිධ අන්දමේ අහිතකර බලපෑම් එල්ල කළේය .නමුත් ලංකාවේ දිනෙන් දින උග්‍ර වෙමින් යන අර්බුදය සමස්ත අර්බුදයේ ප්‍රතිඵලයක් හෝ නිර්මාණයක් නොවේ.එය බංකොලොත් ආර්ථික කළමනාකරණය සහ හිතුවක්කාරී දේශපාලන තීන්දු විසින් රටට උරුම කරදුන් තත්ත්වයකි.

මූලිකවම මිනිසකුට හිමිවිය යුතු අයිතිවාසිකම් රාශියක් පාලකයන්ගේ අත්තනෝමතික භාවය හේතුකොටගෙන රටවැසියන්ට අහිමි වීම බරපතළ ඛේදවාචකයෙකි . එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය දැනටමත් ආරම්භ වී තිබේ . එහිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ යෝජනාව ඉදිරිපත් වනුයේ මාර්තු මස තුන් වැනිදාය . බරපතළ ගණයේ මානව හිමිකම් කඩ කළ බවට ඉතිහාසයක් තිබෙන නූතන පාලන තන්ත්‍රය ඊට මුහුණ දීම සඳහා කල්තියා සූදානම් වේ . ඒ මේ මොහොතේ ද ස්වකීය දූෂණ වංචාව සිය පාලන මාදිලිය බවට පත් කරගනිමින් නීතිය ද ගණිකා වෘත්තියේ යොදවමින්ය .

මෙම අසාධාරණයට එරෙහිව දේශපාලන වශයෙන් සංවිධානය වීම මෙරට පුරවැසි අයිතියක් වේ . නමුත් ආණ්ඩුව දිගින් දිගටම මර්දනය දියත් කරමින් එම අයිතිය ජනතාවගෙන් උදුරා ගනිමින් සිටී . ලොව පිළිගත් මානව හිමිකම් සංකල්පයන් අනුව මෙම අසාධාරණයන්ට එරෙහිව නැගී සිටීමට බලගැන්විය යුතුය .මානව හිමිකම් කඩ කරන විට හෝ ඒවාට නිසි ගෞරවයක් නොලැබෙන විට රජයට හෝ තම රැකියා රැකියා ස්ථානයට හෝ වේවා එරෙහිව නැගී සිටීම රටක ජනතාවගේ මූලික අයිතියකි . එම අයිතීන්ට ගරු නොකරන ලංකාවේ පාලන තන්ත්‍රය ජනතාවගේ වෘත්තිය සටන් මර්දනය කර ගැනීම සඳහා වහාම හදිසි නීති අණ පනත් ගෙන ආවේය . ආණ්ඩුව එසේ කරනු ලැබූයේ කොවිඩ් වසංගතය මුවාවෙන් වෘත්තිය සටන් මර්දනය කිරීමේ නිර්ලජ්ජිත උත්සාහය ලෝකය ඉදිරියේ නිරුවත්ව තිබෙන පසුබිමකය.

සෑම පුද්ගලයකුටම එකඟ නොවන අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය ද මූලික මිනිස් අයිතියකි .පළිගැනීමකට ලක් නොවී තම අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය පසුගිය සති කිහිපය තුළ අමු අමුවේ උල්ලංඝනය වන අයුරු අපට දැකගත හැකි විය . ආණ්ඩුවට එකඟ විය නොහැකි අදහස් පළ කළ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් විශාල පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා ප්‍රශ්න කර තිබිණ. එක්සත් ජාතීන්ගේ පිළිගත් මූලික මානව හිමිකම් වලට අනුව යමෙකු තමන්ට සිතෙන දේ පැවසීම හේතුවෙන් රට පාලනය කරන රජයෙන් අනතුරක් සිද්ධ විය හැකි යැයි ඒ පුද්ගලයාට හැඟේ නම් එය බරපතළ තත්වයකි . අප රටේ ජනතාව මේ මොහොතේ අත්විඳිමින් සිටින්නේ එම කටුක යථාර්ථය නොවේද ?

ආගම් අතර ගැටුම් නිර්මාණය කර සිය පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ඉතිහාසයේ පටන් වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇත . පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන් සෙවීමේ කාර්ය අඩපණ කිරීම සඳහා ගන්නා වූ වෑයම මෑතකාලීනව දැකිය හැකි උදාහරණයකි . මුස්ලිම් ප්‍රජාවට එරෙහිව කතෝලික ප්‍රජාවගේ මෙන්ම සිංහල බෞද්ධ ජනතාවගේ වෛරය නිර්මාණය කොට එය පවත්වාගෙන යෑම සඳහා පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට දඬුවම් ලබාදීම සැලසුම්සහගතව අකර්මණ්‍ය කර ඇත .නඩු තීන්දු ලැබෙන ආකාරයෙන් එය ගම්‍යවේ .

ජාතිවාදය පෝෂණය කර එය තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා ආණ්ඩුව දේශපාලන වේදිකාව මෙන්ම මාධ්‍ය ආයතනද භාවිත කරමින් සිටිති .මේ සඳහා ආණ්ඩුව යොදා ගනිමින් සිටින්නේ ස්වකීය පාලනය විසින්ම ආරක්ෂා කරනු ලබන සමාජ තීරුවකි .ජාවාරම්කාර ධනපතියන් කිහිපදෙනෙකුට අයත් මාධ්‍ය ආයතන කිහිපයක් ඉතා සැලසුම් සහගතව මේ කාර්යය සඳහා යොදා ගෙන ඇත . සමාජය ඉදිරියේ ඔවුන් තවදුරටත් තව දුරටත් පෙනී සිටින්නේ ස්වාධීන ආයතන ලෙසය . මෙකී අවලස්සන සහගත තත්ත්වය හේතුකොටගෙන පාස්කු දින ප්‍රහාරය වින්දිතයන්ට සාධාරණය ඉටුකර ගැනීම සඳහා ජාත්‍යන්තරය වෙත යාමට කාදිනල් හිමියන්ට සිදුව තිබේ .

රටක දරිද්‍රතාවේ චක්‍රය නතර කිරීමට නම් එරටේ අධ්‍යාපන අයිතිය තහවුරු කළ යුතු බව ලොව ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පිළිගත් මුලික කාරණයකි .කටින් බතල කොළ සිටුවීමට සමත් මේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය අඩපන කර දමා ඇත .රටේ ප්‍රභූ පැලැන්තියට පමණක් අධ්‍යාපන අයිතිය සීමාවෙන් තිබෙන අයුරු දක්නට ලැබේ .සෑම කෙනෙකුටම අධ්‍යාපනය සඳහා ප්‍රවේශ වීමට තිබෙන අයිතිය උල්ලංඝනය වීම් ආරම්භ වී ඇත .ඉදිරි ලෝකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමවේද සකස් කළ යුතු බව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දී වත්මන් ජනාධිපතිවරයා කියා තිබේ . නමුත් කොවිඩ් වසංගත හමුවේ ආරම්භ වූ ඔන්ලයින් අධ්‍යාපනය මුළුමනින්ම අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්ව ඇත .එම අධ්‍යාපනය ලැබීම සඳහා අවශ්‍ය කරන යටි කළ පහසුකම් ඒ ඉතා සුළු පිරිසකට බව ආණ්ඩුව විසින්ම කළ සමීක්ෂණ අනුව පැහැදිලි වී තිබේ . රටේ පාසල් සිසු සිසුවියන්ට එම පහසුකම් ලබාදීමට සිදුව තිබෙන්නේ විපක්ෂ නායකවරයාටය. සාම්ප්‍රදායික දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් ඔබ්බට ගොස් එවැනි දෙයක් කිරීම යහපත්ය. එහෙත් එහි පූර්ණ වගකීම ඇත්තේ ආණ්ඩුවටය .

රැකියාවක් කිරීම ද පිළිගත් මූලික මානව හිමිකමක් වේ .නමුත් ආණ්ඩුවේ අසාර්ථක ආර්ථික කළමනාකරණය හේතුවෙන් වැසීගිය ආයතන ප්‍රමාණය සුළු පටු නැත .ඉන් එළියට වැටුණු ලක්ෂ සංඛ්‍යාත පිරිස විරැකියා පෝලිමට එක් ව සිටී .මෙම රැකියා විරහිතයන් සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ හෝ රට තුළ වැඩ පිළිවෙලක් තිබෙන බවක් පෙනෙන්නට නැත . එවැනි පිරිස් සඳහා යම් යහපත් ප්‍රවේශයක් ලබා ගන්නවා වෙනුවට ආණ්ඩුව කරනු ලැබූයේ සේවක අර්ථසාධක අරමුදලට විදීම සඳහා පිඹුරුපත් සැකසීමය . ආසියාවේ ලොකුම අරමුදල ලෙස සැලකෙන සේවක අර්ථසාධක අරමුදලට අත තැබීම සඳහා ගනු ලැබූ උත්සාහය හකුලා ගැනීමට ආණ්ඩුවට සිදු වුයේ පෞද්ගලික අංශයේ සේවක විරෝධය හේතුවෙනි .

මේ වනවිටත් ආරම්භ වි ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ලංකාවට මුහුණ දීමට සිදුවන්නේ රට අභ්‍යන්තරයේ ඉහත සඳහන් ආකාරයේ අගතිගාමී සහ පිළිකුල් සහගත තත්ත්වයක් කරපින්නා ගෙනය .”ශ්‍රී ලංකාවේ අතීතය ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් පවතී .ඒ හේතුවෙන් අපරාධ වලට දඬුවම් නොලැබීම වින්දිතයන් තවත් ප්‍රශ්ණ වෙත යොමු කරමින් තිබේ . එබැවින් පවතින පද්ධතීන් කෙරෙහි අවිශ්වාසය වර්ධනය වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය පසුගිය වසරේ පැවති සැසිවාරයේදී ප්‍රකාශ කළාය. එමෙන්ම ඉහළ රාජ්‍ය නිලධාරීන් අතීත අපරාධ පිළිබඳ කිසිදු පිළිගැනීමක් ලබා දීමට අපොහොසත් වූවා යැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය” . ඇයගේ එම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට සැබවින්ම අත පෙවීමක්ද නොඑසේනම් මේ මොහොතේ අප මුහුණ දෙමින් සිටින අශීලාචාර යථාර්ථය එය නොවේ දැයි තම තමන්ගේ හෘද සාක්ෂි වලින් විමසා බැලිය යුතුය .