පසුගිය 11 වැනිදා සවස බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී අත්බෝම්බයක් හසුවුනේය. බෝම්බය පිළිබඳව පල්ලියේ ප්‍රධාන පියතුමා බොරැල්ල පොලිසිය දැනුම්වත් කළේය. පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කර 13 හැවිරිදි කුඩා දරුවෙක් සහ පල්ලියේ සේවා කටයුතු භාර සන්ක්‍රිස්තියන්වරයාත්, පල්ලි විශේෂ දේව මෙහෙයක් සඳහා සූදානම් කරමින් සිටි දායකයන් දෙදෙනෙකුත් අත්අඩංගුවට ගත්තේය. අනතුරුව ආරක්ෂ්ඩක අංශ විසින් බෝම්බය නිශ්ක්‍රීය කෙරුනි.
පාස්කු ප්‍රහාරයට දින 1000 සම්පූර්ණ වීම නිමිතිකරගෙන ලංකාවේ සියළුම දේවස්තාන විශේෂ දේවමෙහෙයකට සූදානම් වෙමින් තිබුනි. පාස්කු ඉරිදා ප්‍රහාරයට දින 1000 සම්පූර්ණ වීමට නියමිතව තිබුණේ සිකුරාදා (14)ය. මෙතෙක් කලක් ඒ වින්දිතයන් සඳහා සෑහීමට පත් විය හැකි තරමට සාධාරණත්වයක් ඉටු නොවීම වෙනුවෙනි. සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බය හසුවන්නේ මේ අවුඅස්සේය. පොලිසිය කී කතා අතර වැදගත්ම කතාව වූයේ මේ බෝම්බයත් හරියටම නාරාහේන්පිට ලංකා රෝහලේ තැබූ බෝම්බයට සමානම එකක් බවය.
දැන් බෝම්බය තැබීමේ සැකය පොලිසිය විසිකර තිබුණේ පල්ලිය පැත්තටය. බොහෝ විට අවසානයේදී පල්ලියේ පියතුමාත් අත්අඩංගුවට පත් වී වැඩේ කෙළවර වන්නට ඉඩ ඇති බව පෙනුනේය. ඒ අනුව දින 1000 පාස්කු විරෝධය හා දේව මෙහෙයන් ද ඒ අත්බෝම්බයෙන් සුනු විසුණු වීමට ආසන්න බව පෙනෙන්නට විය. පුංචි දරුවා 13 හැවිරිදිය. ඔහු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කරමින් බොහෝ බරපතල දේ හෙළි කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව කියනවිට රටටම හිතුනේ කාදිනල්වරයාත් ලොකු ගේමක ඉන්නා බවය.
පසුගිය 13 වැනිදා කාදිනල් හිමිපාණෝ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූහ. උන්වහන්සේ කළ හෙළිදරව් කිරීම් රට මොහොතකට තිගැස්සුවේය
පොලිස් උපදෙස් ලබා දී තිබුනේ සිද්ධිය වූ 11 වැනිදා සවස් වරුවේ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමට බව කාදිනල් හිමියෝ කීහ. නමුත් තමන් පූජකතුමන්ලාට උපදෙස් ලබා දෙමින් එදින උදේ සිට සියලු දර්ශණ පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටි බව කී උන්වහන්සේ එහිදී හෙළි කරගත් සිදුවීමක් මාධ්‍යට මුදා හැරියේය.
එහි ඇත්තේ උදේ 9.52ට පුද්ගලයෙක් කඩිමුඩියේ පැමිණ යමක් දේවස්ථානයේ මුල්ලක ඇති ප්‍රතිමාව අසලින් තබා දුවන්නාක් සේ පලා යන බවය. තමන් සැක කරන්නේ මේ පුද්ගලයා බෝම්බය තැබූ බව යැයි කී කාදිනල් හිමියන් දේවස්ථානයේ වසර ගණනාවක් ආවතේව කරමින් සිටිනා මුනි නැමැති සන්ක්‍රිස්තියන්වරයාත්, ඔහුගේ උදව්වට පැමිණි බැතිමතුන් දෙදෙනා හා නිරන්තරයෙන් පල්ලියට යන එන 13 හැවිරිදි දරුවාත් අත්අඩංගුවට ගෙන සිදුකරන මේ විගඩම ගැන ප්‍රශ්ණ කළේය. පොලිසිය සවස් වරුවේ සී.සී.ටී.වී දර්ශන පමණක් නිරීක්ෂණය කිරීමට යෝජනා කළේ කුමන විශේෂිත පදනමකින් දැයි උන්වහන්සේ විමසූහ.
දේශපාලනඥයන්ට ගැතිකම් කිරීම පොලිසියේ රාජකාරිය නොවන බවත් යුනිෆෝම් ගලවා ඉවත්වීම වාඩාත් සුදුසු බවත් උන්වහන්සේ පැවසූහ.
මේ වනවිටට විමර්ශකයන් පත්වී සිටියේ දැඩි අපහසුතාවයකටය. අත්අඩංගුවට පත්වුණ සිව් දෙනාගෙන් කිසිවෙක් සිද්ධියට ඍජුව සම්බන්ධ නැති බව ඔවුන්ට වැටහෙමින් තිබිණි.
පසුදා පාස්කු ප්‍රහාරයට දින 1000 පිරුනු 14 වැනිදාය. එදින මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති රියර් අද්මිරාල් ( විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර කාදිනල්වරයාගේ මධ්‍ය හමුවට උත්තර දුන්නේය. ඇමතිවරයා මාධ්‍යයට කීවේ මුණි නැමැති සන්ක්‍රිස්තියන් තැන මේ බෝම්බ ඇටවීමට සම්බන්ධ වී ඇති ආකාරයය. මුණිගේ ඔහුගේ කාමරයේ තිබී බෝම්බයේ ගිනිකූරු සහ හඳුන්කූරු ඇලවීමට පාවිච්චි කළ සෙලෝටේප් හමු වූ ආකාරයය. ගිනි පෙට්ටිවල අඩුවී තිබුණු ගිනිකූරු 15ක් ගැන ද ඔහු කීවේය. ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් කියැවුනේ සන්ක්‍රිස්තියන්වරයා පල්ලියේ බෝම්බයක් අටවා එය පිපිරෙන්නට හැර ආණ්ඩුව අපහසුතාවයට කිරීමේ කුමන්ත්රණයක ස්වරූපය ගැනය.
උදාහරණ ලෙස ඔහු නාරාහේන්පිට ඇපලෝ රෝහලේ බෝම්බය ගැන කීවේය. ඒ බෝම්බය තබා තිබුණේ එහි සේවයට පැමිණි පුද්ගලයෙක් බව කීවේය. මේ බෝම්බ දෙකම මහමොළකරුවෙකුගේ වැඩක් බවත් මේ පසුපස ඇත්තේ රජය අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් බවත් ඇමතිවරයා කීවේය.
දැන් රටේ ඇතිවී තිබුණු සංවාදය වෙනස් එකකි. අපේ රටේ පොලිසිය මන්දබුද්ධික නැති බව කියනු ඇසිනි. මෙවැනි සිදුවීමක් සම්බන්ධව කරන විමර්ශනයක දී දින ගණනක සී.සී.ටී.වී පරික්ෂා කරන විමර්ශකයන් දර්ශන පරීක්ෂා කිරීමට නියමකළ කාල රාමුවක් ලබා දී ඒ ඔස්සේ අත්අඩංගුවට ගැනීම් කිරීමත්, ඒ කාල රාමුවට පිට වෙලාවක දී සැකකටයුතු පුද්ගලයෙකුගේ හැසිරීම නිරීක්ෂණය වීමත් ඇතිකළ විසංවාදය පොලිස් පරීක්ෂණ සම්බන්ධව ඇති විශ්වාසනීයත්වය පලුදු කර තිබිණි.
පාස්කු ප්‍රහාරයට දින 1000 සම්පූර්ණ වූ 14 දා සවස කාදිනල් තුමා පොලිස් ඇමතිට උත්තරයක් දුන්නේය.
“ඔය කතා අපට නොවෙයි… ගිහින් කියන්න කොන්ඩෙ බැඳපු චීන්නුන්ට“
ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මල්වත්ත පන්සලේ සිට කාදිනල් හිමියන්ට කීවේ පොලිස් පරීක්ෂණවලට ඉඩ දී පැත්තකට වෙන ලෙසය. පොලිස්පතිට යුනිෆෝම් ගලවන්නට යෝජනා කරන්නේ එම යුනිෆෝම් එක දුන්නේ කාදිනල්වරයා දැයි ආරක්ෂක ලේකම් ඇසුවේය.
මේ අතරේ බුද්ධි අංශ කාදිනල් හිමි දුන් තොරතුරු ඔස්සේ නොන්ඩි ගසමින් උදේ 9.52කට සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බය තැබූ මිනිසා ගැන හොයන්නට පටන් ගන්නේය. මේ තැනැත්තා කඩවතින් 154 අඟුලාන බස් රථයක නැගී පැමිණ බොරැල්ලෙන් බැස දේවස්ථානයට විත් බෝම්බය තැබූ අයුරුත් අනතුරුව ත්‍රීවිල් රථයකින් වැලිකඩ බන්ධනාගාරය දෙසට ගමන් කරන අයුරුත් සොයා ගෙන තිබිණි.
ඒ තොරතුරින් පැය 24 යන්නට පෙර රාජ්‍ය බුද්ධි අංශය විසින් ලබා දුන් තොරතුරුක් අනුව බෝම්බය තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගන්නේය. ඒ ඇඹිලිපිටියේ දීය.
හෙළිදරව් වෙමින් ඇති ආකාරයට කඩවත මංකඩ පාරේ පදිංචිව සිටි මෙම තැනැත්තා කර තිබුණේ කොන්ත්‍රාත්තුවකි. ඒ රුපියල් පනස් දහසකටය. ඔහුට කොන්ත්‍රාත්තුව දුන්නේයයි විශ්‍රාමික වෛද්‍යවරයෙක්ද මේ වන විට අත් අඩංගුවේ පසුවේ. මේ සියළු කරුණු පෙළ ගස්වද්දී පැහැදිලිවෙන කරුණ නම් කාටහෝ කොතනකදී හෝ පිටපත වැරදී ගොස් ඇති බවය