මෑත ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් ඇසූ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් සිදුකොට ඇති ක්‍රියාව පිලිබදව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරී විජේරත්න මහත්මිය විසින් කතානායකවරයාට ලිපියක් ලියමින් පැමිණිලිකොට ඇත.
මා ඊයේ අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ගුරු උපදේශක සේවයේ මේ සොච්චම් ගැටළුව විසඳන ලෙස පමණී.  එය කළ යුතු බව රාජ්‍ය ඇමතිවරයා පිළිගනී.  දැන් එය නිවැරදිව කර තැනි බව ඒ අනුව ඔහු පිළිගනී.  රාජ්‍ය ඇමතිවරයාට කරන්න බලයක් නැත. බලය ඇති අධ්‍යාපන ඇමතිවරයා කරන්නේ නැත.  උත්තර දෙන්නේ ද නැත. මේ පම්පෝරි කතා නිවේදනයෙන් රටට හෝ අධ්‍යාපනයට සෙතක් වන්නේ නැත. පාර්ලිමේන්තු ප්‍රශ්නයකට උත්තර නොදී පුවත්පත් නිවේදන ලිවීමෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් රැගෙන්නේ නැති බව සභානායකවරයා දැනගත යුතුය යනුවෙන් ඇය සිය ලිපියේ දන්වා සිටී.සම්පූර්ණ ලිපිය මෙසේය.

2021.11.09
 
ගරු කථනායකතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
 
ගරු කථානායකතුමනි,
පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ සභානායක කාර්යාලය නිකුත් කර ඇති 2021.11.08 දිනැති අංක Olhp/m/09/2021 දරණ ලිපිය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමයි.
මෑත ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් ඇසූ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය පුවත්පත් නිවේදනයක් නිකුත් කර ඇත. පාර්ලිමේන්තු සභා ගැබේ උත්තර දිය නොහැකි ප්‍රශ්නවලට නිවේදනවලින් උත්තර දීම ‘පාර්ලිමේනන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද උල්ලංඝනය කිරීමකි.  කැබිනට් රැස්වීමේ දී කියාගත නොහැකි දේ පවසමින්, සම්මන්ත්‍රණ ශාලාවල අඩා වැලපීමට වැඩි දෙයක් මෙම ව්‍යවහාරයේ නැත.
මා විසින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යොමු කරනු ලැබූ ප්‍රශ්නය පිළිතුරු දෙනු ලැබූවේ තමන්ට කිසිම බලයක් නැතැයි කියමින් දිනපතා මැසිවිලි නගන රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා ය. මම එය විවේචනය කරනු ලැබූවේ අපගේ පූර්වගාමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අනුව යමිනි.  
 1973 මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාවට දිනේෂ් ගුණවර්ධන මහතා පත්වන විට මට යන්තම් අවුරුදු දෙකක්වත් නැත. එතුමන් 1983 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන විට මම ශිෂ්‍යත්ව විභාගය ලියූවා පමණී.  1994 – 2000 දී හැර දිගටම පාර්ලිමේන්තුවේ සිටි වත්මන් සභානායකවරයා, වගකිව යුතු අමාත්‍යවරයෙකු ලෙස අධ්‍යාපනයේ ප්‍රශ්න විසඳනවා නම් පම්පෝරි කතා පුවත්පත් නිවේදන නිකුත් කරන්නට වෙන්නේ නැත. ජ්‍යෙෂ්ඨත්වය යනු වැඩිම දින ගණනක් හිරු නැගෙනු දැකීම හෝ පම්පෝරි කතා කීම නොව, ප්‍රශ්නයකට විෂයානුබද්ධව පිළිතුරු සැපයීම ය.
රටේ අධ්‍යාපනය අවුල් ජාලයක් වී ඇත. ගුරුවරුන් උද්ඝෝෂණයේ ය. උද්ඝෝෂණ ස්ථානය පැන ගුරුවරුන්ට පහරදී යයි.  දරුවන්ගෙන් 60% කගේ අධ්‍යාපනය දැන් මාස 20 කට වඩා අවුලෙන් අවුලට පත්ව ඇත. විද්‍යා පීඨ වසා දමා ඇත. සමස්ථ අධ්‍යාපන ක්‍රියාවලියම බිදවැටී ඇත.
ගුරු උපදේශක සේවය පිහිටුවන්නට මම දැඩි ලෙස කැපවුනෙමි. අවශ්‍ය සියළු කටයුතු සිදු කර දැන් ඉතිරිව ඇත්තේ ‘සේවා ව්‍යවස්ථාව‘ ක් සකස් කර පත්වීම් ලිපිය නිකුත් කිරීම පමණී.  සේවා ව්‍යවස්ථාවක් නැතිව පත්වීම් ලබාදීමේ ක්‍රමයක් ලෝකයේ නැත. මා ඊයේ අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ගුරු උපදේශක සේවයේ මේ සොච්චම් ගැටළුව විසඳන ලෙස පමණී.  එය කළ යුතු බව රාජ්‍ය ඇමතිවරයා පිළිගනී.  දැන් එය නිවැරදිව කර තැනි බව ඒ අනුව ඔහු පිළිගනී.  රාජ්‍ය ඇමතිවරයාට කරන්න බලයක් නැත. බලය ඇති අධ්‍යාපන ඇමතිවරයා කරන්නේ නැත.  උත්තර දෙන්නේ ද නැත. මේ පම්පෝරි කතා නිවේදනයෙන් රටට හෝ අධ්‍යාපනයට සෙතක් වන්නේ නැත. පාර්ලිමේන්තු ප්‍රශ්නයකට උත්තර නොදී පුවත්පත් නිවේදන ලිවීමෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් රැගෙන්නේ නැති බව සභානායකවරයා දැනගත යුතුය.  
නිවේදනයෙන් කියවෙන පරිදි ගරු අධ්‍යාපන ඇමතිවරයා මගේ ගුරුන්නාන්සේ මතක් කර ඇත.  එතුමා අමතක කර ඇත්තේ මෙය ගුරු උපදේශකවරුන්ගේ ප්‍රශ්නයක් මිස මගේ ගුරුන්නාසේගේ ප්‍රශ්නයක් නොවන බවය.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය නම්, ගරු මන්ත්‍රීවරයෙකු යොමු කරන වාචික ප්‍රශ්නයකට අදාල අමාත්‍යවරයා සභාවේ දී වාචිකව පිළිතුරුදීම ය. එසේ කළ නොහැකිනම් තම බැරිකම නිහතමානීව පිළිගැනීමය.  එසේ නොමැතිව ප්‍රශ්නය මඟහැර ලාබ ජනප්‍රියත්වය උදෙසා පුවත්පත් නිවේදන නිකුත් කිරීම නොවේ.
සිංහයින් හා පූස් පැටියෙන් ක්‍රියාවෙන් හඳුනාගැනීම පහසුය.  
පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්නවලින් පැන යන අමාත්‍යවරුන් පුවත්පත් නිවේදන මගින් ලැජ්ජාව වසා ගැනීමේ උත්සාහයක් ලෙස සභාවේ ප්‍රශ්න සම්බන්ධයෙන් පුවත්පත් නිවේදන නිකුත් කිරීම වැරදි පූර්වාදර්ශයකි.  එබැවින් මෙම කරුණ, පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කර මෙවැනි ක්‍රියා නැවත සිදුවීම වැලැක්වීමට පියවර ගන්නා ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලමි.
 
මෙයට විශ්වාසී,
 
 
රෝහිණී කවිරත්න
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
පිටපත

balavegaya Screenshot 20211109 205055