වත්මන් ආණ්ඩුව යටතේ රුපියල් 395 ට මිලදී ගත් කැප්ටොපිල්ස් සිරප් ඖෂධය යහපාලන ආණ්ඩුව සමයේදී රුපියල් 55,185 කට මිලදීගෙන ඇති බවට ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. එම ඖෂධය ඇතුළු තවත් ඖෂධ ලිස්ට් එකක්ම ඉදිරිපත් කළ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඖෂධ මිලදී ගැනීම හරහා දැවැන්ත ජාවාරමක් සිදුකර ඇති බවයි.

මෙම චෝදනාවට ඊට පසුදිනම රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදුන් අතර, අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු යහපාලන රජය සමයේදී ඖෂධ මිලදී ගත් මිළ ගණන් සහිතවම චන්න ජයසුමන අමාත්‍යවරයාගේ චෝදනාවට පිළිතුරු ලබා දී තිබෙනවා.

යහපාලන ආණ්ඩුව රුපියල් 55,185 කට මිලදී ගත් බව කියන කැප්ටොපිල්ස් සිරප් සැබෑවටම මිලදී ගෙන තිබෙන්නේ රුපියල් 475.92 මුදලකටයි. රුපියල් 80 ක් වැඩි වී තිබෙන්නේ යහපාලන ආණ්ඩුව සමයේදී අඩු තොගයක් මිලදී ගැනීම හේතුවෙනි.

ලොරසපාම් ඖෂධය වත්මන් ආණ්ඩුව 373 බැගින් මිලදී ගනිද්දී යහපාලන ආණ්ඩුව 18,330 ක් වැනි අධික මිලකට මිලදී ගෙන ඇති බව චන්න ජයසුමන මහාත සඳහන් කළද, රාජිත සේනාරත්න මහතා පවසන්නේ එම ඖෂධය රුපියල් 1446.25 බැගින් මිලදී ගත් බවයි. වත්මන් ආණ්ඩුව යටතේද මෙම ඖෂධය මිලදී ගෙන තිබෙන්නේ 1446.25 බැගින් බව පවසන සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ රුපියල් 373 ක මුදලට කිසි දිනෙක මෙම ඖෂධය මිලදී ගෙන නොමැති බවයි.

එදා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සෞඛ්‍ය විෂයට අදාල සියලු ක්ෂේත්‍ර පිළිබඳව සොයා බැලූ බවත්, අද සෞඛ්‍ය සේවය සඳහා ඇමතිවරුන් ගණනාවක් පත්කර තිබියදී චන්න ජයසුමන මහතාට ඖෂධ මිලදී ගැනීම් පිළිබඳව හෝ නිසි දැනුමක් නොමැතිව, විවිධ අසත්‍ය සංඛ්‍යා ලේඛන, බොරු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන බවත් රාජිත සේනාරත්න මහතා පවසනවා.