වර්තමාන විපක්ෂය සැබැ විපක්ෂයක කාර්යභාරය නිසිලෙස ඉටුකරන අවස්ථාවේ විපක්ෂ නායකවරයාට පහර දෙන්න බොහෝ පිරිසක් ඉදිරිපත් වී සිටින බවත් ජනතා සටනේ සිටින විපක්ෂයට චෝදනා එල්ල කරමින් පහරදෙනවා වෙනුවට මහජන වුවමනා ඉටුකරන්න ආණ්ඩු පාර්ශ්වය කටයුතු කළ යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පැවැසීය.

ඊයේ (12) දින කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා මේ බව සඳහන් කළේය.

රටේ ඇතිවුණ විවිධ අර්බුද වලදි විපක්ෂ නායකවරයා එම අර්බුද පිළිබඳව විද්වතුන්ගෙන් අදහස් ලබාගෙන ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කළ බවත් විපක්ෂ නායකවරයා පැවැසු දේවල් අවසානයේ නිවැරදියි කියලා සියලු දෙනා පිළිගත් බවත් බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයට විපක්ෂ නායකවරයාට එල්ල කිරීමට චෝදනා නොමැති නිසා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා විවිධ අසත්‍ය චෝදනා දිගින් දිගටම එල්ල කරන බවත් වොඩ්කා ඇල් වතුර කරපු මනුස්සයෙකු ඉදිරිපත් කරන චෝදනාවලට උත්තර දෙන්න සූදානම් නැති බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරයේ මීට පෙර සිටියේ සද්ධන්ත ඇත්තු බවත් නයි මුගටි මහලේකම් ධූරයට පත් වුණාම මෙවැනි බාල කතා අහන්න ලැබෙන එක පුදුමයක් නොවන බවත් බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා වැඩිදුරටත් කීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා දැක්වූ අදහස්.

‘‘අලි පොහොට්ටු සන්ධානයේ නායකයෝ දිගින් දිගටම විපක්ෂ නායකවරයාට චෝදනා එල්ල කරමින් සිටිනවා. , පාර්ලිමේන්තු යන්න හිතෙන්නේ නෑ පාර්ලිමේන්තුව එපා වෙලා තිබෙන්නේ , පාර්ලිමේන්තුවේ කාලය විපක්ෂ නායකවරයා කා දමනවා වගේ මතයක් රට තුළ ඇති කරන්න ඔවුන් උත්සහ ගන්නවා.

එක්ප්‍රස් පර්ල් නැවට සිදුවුණ දේ තමයි වර්තමානයේ පොදුජන පෙරමුණටත් සිදුවෙලා තිබෙන්නේ. එක්ප්‍රස් පර්ල් නැවේ සුන්බුන් නිසා සමුද්‍රිය පරිසරයට හානි වුණා වගේම පොදුජන පෙරමුණේ සුන්බුන් නිසා රටේ දේශපාලන පරිසරයටත් හානි සිදුවෙලා තිබෙනවා.

රටට අයහපතක් වුණේ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ කුමන කතාවෙන්ද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. රටේ ඇතිවුණ විවිධ අර්බුද වලදි ඒ අර්බුද සඳහා රටේ සිටින විද්වතුන්ගෙන් අදහස් ලබාගෙන ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී පෙනී සිටිමින් කතා කළා. කොරෝනා වසංගතය සමයේ විපක්ෂ නායකවරයා පැවසු දේවල් අවසානයේ නිවැරදියි කියලා සියලු දෙනා පිළිගත්තා.

බිලියන 600 ක පමණ රටේ බදු ආදායම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අහිමිකර ගන්නකොට විපක්ෂ නායකවරයා ඒ ගැන කතා කළා. පසුකාලීනව එය සත්‍යයක් බව පැහැදිලි වුණා. රට ආර්ථික වශයෙන් අගාධයට ගමන් කරන අවස්ථාවේ විපක්ෂ නායකවරයා කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගන්න කියලා. එදත් විපක්ෂ නායකවරයාට ආණ්ඩුව සමච්චල් කළා. විපක්ෂ නායකවරයා ඒ කියලු දේවල් ජනතාවට යහපතක් වුණාද නැද්ද කියලා ජනතාව දන්නවා. එදා කියපු දේවල් ක්‍රියාත්මක කළානම් රට මෙවැනි අර්බුදයකට පත් වන්නේ නෑ.

විපක්ෂ නායකවරයා අභියෝගයක් වුණ නිසා තමයි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු විපක්ෂ නායකවරයාට පහර ගහන්නේ. පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගහපු පිරිස් , කතානායකගේ පුටුවට වතුර හලපු පිරිස් , පාර්ලිමේන්තුවේ භාණ්ඩ විනාශ කළ පිරිස් අද කියනවා විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ කාලය විනාශ කරනවා කියලා. මහජනතාවගේ ප්‍රශ්න කතා කරන්න අද විපක්ෂයට අවස්ථාවක් නෑ.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර කියනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය හොර සල්ලි අච්චු ගහලා අහුවුණා කියලා. නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය නිදොස් කොට නිදහස් කර තිබෙනවා. එතුමියට වන්දියක්ද ඒ වෙනුවෙන් ලැබිලා තිබෙනවා. මේ කාරණය හැමදාම හෝද හෝද මඩේ දානවා. මොකද එක්සත් ජාතික පක්ෂයට කියන්න වෙන චෝදනාවක් නෑ. වොඩ්කා ඇල් වතුර කරපු මනුස්සයෙකුට අපි උත්තර දෙන්න ලැස්ති නෑ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරයේ ඉන්න ගමන් මෙවැනි විහිලු සපයන්න එපා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරයේ හිටියේ සද්ධන්ත ඇත්තු. අද නයි මුගටි මහලේකම් ධූරයට පත් වුණාම මෙවැනි බාල කතා අහන්න ලැබෙන එක පුදුමයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයේ සිටිමින් බාල දේශපාලනයේ නිරත වෙන්න එපා.

ආණ්ඩුව බලයට ආවේ අරගලය හේතුවෙන්. අරගලයට ආපු තරණ පිරිස එලවා දැම්මේ ගෝඨාභය රාජපක්ෂ විතරයක් නෙවෙයි මුලු ආණ්ඩුවම. එලවපු ආණ්ඩුවේ ඇතැම් පිරිස් ආරක්ෂා කරගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනතාවට විරුද්ධව කටයුතු කරමින් සිටිනවා. මහජන මතයට පයින් ගසමින් තමයි ජනාධිපතිවරයා කටයුතු කරන්නේ.

ආණ්ඩුවේ නායකයන් සමඟ තමන්ගේ දේශපාලන ගනුදෙනු බේරාගැනීම සඳහා ඩීල් විපක්ෂ ව්‍යාපාර තමයි රටේ තිබුණේ. නමුත් අද සැබැ විපක්ෂයක් ලෙස පෙනී සිටින අවස්ථාවේ විපක්ෂ නායකවරයාට පහර දෙන්න බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙලා සිටිනවා. ජනතා සටනේ ඉන්න විපක්ෂයට චෝදනා කරනවා වෙනුවට මහජන වුවමනා ඉටුකරන්න කටයුතු කරන්න.

රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරයාට ජනතා අභිලාෂයන් ඉටු කරන්න අවශ්‍යතාවයක් නෑ. ජනතාව වෙනුවෙන් කැපවෙන්න උවමනාවක් නෑ. ජනාතා අභිලාෂයන් ගැන අවබෝධයක් නෑ. ජනාධිපතිවරයා මහජන ඡන්දයකින් පත්වුණ අයෙක් නොවේ. ඔහු ජනාධිපති වුණේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන්. මහජන ඡන්දයෙන් පත්වුණ මහජන නියෝජිතයන්ටත් අද ජනාධිපතිවරයා තරවටු කරන තත්ත්වයක් උදාවෙලා තිබෙනවා.